April 27, 2024

පස්සර බස් අනතුර: මියගිය ගණන 15 දක්වා ඉහළට - තුවාලකරුවන්ගේ තත්වය බරපතළයි

මොණරාගල - බදුල්ල මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් මේවන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව තිබෙන බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් මේ වන විට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

බදුල්ල රෝහලේ තුවාලකරුවන් 29 දෙනෙකුත්, පස්සර රෝහලේ තුවාලකරුවන් තිදෙනෙකුත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු 14ක් පස්සර රෝහලේ තැන්පත් කර ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අදාළ මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 13:38