May 11, 2024

විමල් හා උදයගේ හඬට කැබිනට්ටුවේත් දොර වැසේ - විරෝධය කුණු කූඩයට

සියලු අමාත්‍යාංශය වලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කලමණාකරනය කළ යුතු බවට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු දැක්වූ විරෝධතාවය නොතකා සම්මත කරගෙන තිබෙන බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුවේ අනුමැතිය ලැබිය යුතුව තිබේ.

පසුගිය මස 22 වැනි දින මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර ඊට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය දක්වමින් සඳහන් කර තිබෙන්නේ ඉන් ඇමතිවරුන්ට සිය අමාත්‍යාංශවල ව්‍යාපෘති සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි කටයුතු කිරීම අහිමි වන බවය.

ඇමතිවරුන් ජනතා ඡන්දයෙන් පත්වූවන් බැවින් රටේ සංවර්ධනය ව්‍යාපෘති නිලධාරි කමිටුවකින් අනුමත කිරීම පිටුපස වෙනත් අයගේ අරමුණු ඇති බව මේ ඇමැති දෙපළ ප්‍රකාශ කර තිබෙන්නේ ඒ පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවත් මේ ව්‍යාපෘති ඔහු යටතේ ඇති ආර්ථික කළමනාකරණ කමිටුව යටතට පත් කර ගැනීමේ උවමනාව මත යන සැකය මත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ඇමති දෙපළගේ විරෝධය මත ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ගැන පමණක් මෙම කමිටුවෙන් තීරණ ගැනීමට එකඟ වී තිබේ.

එක් කැබිනට් මණ්ඩල රැස්වීමක ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් පසු ඒවා අනුමත කිරීම සිදුවන්නේ ඊලග කැබිනට් මණ්ඩල රැස්වීමේදී වීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර ඒ අනුව එම කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ මාර්තු 2 වැනිදා ය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීමට විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගී වී නොමැති අතර ගම්මන්පිල අමාත්‍යවරයාද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වූ කාර්යාලයෙන් මදකට ඉවතට ගොස් ඇති අවස්ථාවේ හදිසි යෝජනාවක් ලෙස මෙහි මුල් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර සංශෝධනවලින් තොරවම එය සම්මත වී තිබේ.

ඒ අනුව සියළු අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පවතින කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 20 March 2021 09:28