July 01, 2024

විශ‍්‍රාම ගිය ඩීඅයිජී කෝටි ගණනක ටෙන්ඩර් දීලා

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පොලිස් ගොඩනැගිලි අංශයේ රුපියල් කෝටි දෙකහමාරක ටෙන්ඩර්පත් වලට අත්සන් තබා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය 19 වැනි දා විශ‍්‍රාමගිය එම නිළධාරියා කොන්ත‍්‍රාත් සේවා දිගුවක් අපේක්‍ෂාවෙන් විශ‍්‍රාම ගන්නා විට පොලිස් මූලස්ථානය විසින් ලබාදෙන පොලිස් ආචාර ද පිළිගෙන නොමැත. 

විශ‍්‍රාම දිනයෙන් පසු සේවා දිගුවක්ද නොමැතිව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට නිළ ඇදුමෙන් පැමිණ දින කිහිපයක්ම සිය කාර්යාල කාමරයට වී රාජකාරි කටයුතු වලද නිරතව සිට ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය. 

ටෙන්ඩර්වලට අත්සන් තබා ඇත්තේ ඉකුත් 23 වැනි දා ඔහු පොලිස් මූලස්ථානයට පැමිණිවිටදී බවත් විශ‍්‍රාම ගිය එම නිළධාරීයා පොලිසිය සතු වාහන තුනක් තවමත් පරිහරණය කරන බවත් එම වාහනවලට ඉන්ධන ලබා දෙන්නේත් පොලිසියේ මුදල්වලින් බවත්  පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම වාහන අතර ඔහුට පොලිසියෙන් ලබාදී ඇති මෝටර් රථයත් පොලිස් මූලස්ථානයට අයත් අලුත්ම ලෑන්ඩ්කෲෂර් රථයක් සහ පොලිස්  ගොඩනැගිලි කොට්ඨාශයට අයත් කැබ් රථයක් ඇති බව වාර්තා වෙයි.

එම වාහන තුනට රියැදුරන්ද සිටින බවත් එම රියදුරන්ට අමතරව තවත් පොලිස් නිළධාරීන් පස් දෙනෙක් ඔහු තමා යටතේ තබාගෙන සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

 

 

 

Rate this item
(1 Vote)