May 10, 2024

ණය එපා - අපිට ඕන දේ ගැන ජනපති නව චීන තානාපතිට කියයි

November 19, 2020

ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

අනතුරුව චීන තානාපතිවරයා සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන සතුට පළ කළේය.

“විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුනේ මේ ව්‍යාපෘති ඵලදායක නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභතාවක් සහිතයි. මගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම” ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිවරයා කීය.

“අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මහතා නව චීන තානාපතිවරයාට පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං මහතා ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේය.

ජනාධිපති ෂි ජින් පිං මහතාගේ සුභාශිංසන රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීය.

“ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2020 20:28