June 23, 2024

කොරෝනාවෙන් දිස්ත්‍රික් ආරක්ෂා කර ගැනීමේ බලය - දිස්ත්‍රික් ලේකම්වරුන්ට - ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති

November 05, 2020

කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පැවරීමට ආණ්ඩුව පියවර ගනියි. මේ වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත් ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑමටත් රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද රටටම ඇඳිරි නීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, ආර්ථික ඉලක්ක සපුරා ගනිමින් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවයි.

ඒ අනුව තමන්ගේ දිස්ත්‍රික්ක වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය බලය යොදවා කටයුතු කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන් අතර, ඊට අමතරව ඒ ඒ දිස්ත්‍රික්කයන්හි උද්ගත වන ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද විශේෂයෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යා යුතු බවද සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත පවත්වාගෙන යෑම, ජලය හා විදුලිය සැපයීම, කසළ කළමනාකරණය, ඉන්ධන සැපයීම ආදී අත්‍යවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබීය. මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජය ඉදිරිපත් කළ සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවලදී පෙන්වා දුන් අතර, කෘෂිකාර්මික සහ වැවිලි ක්ෂේත්‍රවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යෑම සඳහා ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම කිසිදු හේතුවක් මත අඩපණ නොකළ යුතු බවද පැවසීය.

කර්මාන්ත පුරවල ඇති අත්‍යවශ්‍ය කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය සහිත ලිපිය ඇඳිරි නීති අවසර පත්‍රයක් සේ සැලකිය හැකි බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඇතැම් ප්‍රදේශවල ජංගම මත්ස්‍ය වෙළෙඳසල් වසා දැමීම සම්බන්ධයෙන් මෙහී දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ධීවර සංස්ථාව මඟින් ඇසුරුම් කරන ලද මාළු ජනතාව අතර බෙදාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. ඊට අමතරව සමෘද්ධිලාභීන් වෙත රුපියල් 500ක වටිනාකමකින් යුත් අපනයන මට්ටමේ ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල නිෂ්පාදන සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි නියුතු සේවකයන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්යසාධක බළකායේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත, අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්ත, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ආයතන, ධීවර, කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයන්ගේ කර්මාන්ත, අපනයන කේන්ද්‍රීය ව්‍යාපාර හා කර්මාන්ත ඇතුළු වෙනත් ආර්ථික ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා ඇඳිරි නීති බලපත්‍රය ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

Rate this item
(0 votes)