May 17, 2024

පොම්පියෝ ආවේ නෑදෑ ගමනක්වත්, මැදමුලනෙ පොල් වත්ත බදු ගන්නවත් නෙවෙයි - ජවිපෙ

පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ, දේශප්‍රේමීත්වය පිළිබඳව සිංහ නාද පැවැත්වූ පුද්ගලයන් අද සැඟවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද ඔවුන්ගේ සිංහ නාද තබා බලු කෙඳිරියක් හෝ නොමැති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සුහදතාවය සඳහා පැමිණෙන ගමනක් හෝ නෑදෑ ගමනක් හෝ ලෙස සැලකිය නොහැකි බවයි අනුර දිසානායක මහතා පවසයි.

එසේම මෙය මැදමුලන වලව්වේ පොල් වත්ත බදුදීම පිළිබඳ ප්‍රශ්නක් හෝ නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරයේ අරමුණ වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ ඇමරිකානු යුද ආධිපත්‍යය තහවුරු කර ගැනීම බවත් පොම්පෙයෝ මහතා ඉන්දියාවට, මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට යන්නේද ඒ අරමුණ වෙනුවෙන් බවත් අනුර දිසානායක මහතා පවසයි.

ඉතිහාසය පුරා සිටි පාලකයන් ලබාගත් ණය කන්ද හමුවේ මේ වනවිට ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දුව බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද ජවිපෙ නායකයා සඳහන් කරයි.

විශේෂයෙන් ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන රටවල පාපහර කෑමට සහ ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවද ඔහු පවසයි.

Rate this item
(0 votes)