May 11, 2024

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම බදාදා - පළමු කැබිනට් පත්‍රිකාව ඇමැති අලි සබ්රිගෙන්

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා (19) පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර කැබිනට් රැස්වීම සෞඛ්‍ය නිරෝධායන රීතිවලට මුල්තැන දෙමින් පැවැත්වීමට තීරණය කර තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව අමාත්‍යවරුන් අතර මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂබීජහරණය කිරීමද අනිවාර්ය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම සදහා වන පති‍්‍රකාවක් පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පත් කෙරිණි. ඔවුන් ඉකුත් 12 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාළිගා පරිශ‍්‍රයේ මගුල් මඩුවේදීය.

රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුද අමාත්‍යාංශ ලේකම්වරුන් 29 දෙනෙකුද මේ වනවිටත් පත්කර අවසන් කර තිබේ.

Rate this item
(1 Vote)

Related items