May 14, 2024

වරෙන්තු නිකුත් කර පැය 72යි - රවී අත්අඩංගුවට ගන්න තවමත් මෙහෙයුම්

වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) රාත්‍රීයේදී සිය මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ. 

කණ්ඩායම් කිහිපයක් වරෙන්තු ලබා සිටින පුද්ගලයිනගේ නිවාස වෙත ගොස් පරික්ෂා කිරීම් සිදුකළ බවත් ඔවුන් නිවෙස් තුළ රැදි නොසිටි බවත් එම දෙපර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිස පිළිබඳව ඇතැම් තොරතුරු වාර්තා වී ඇති අතර ඒ ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසී ය.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර මේ වනවිට පැය 72 කටත් අධික කාලයක් ගතව ඇතත් ඔවුන් සිටින ස්ථානයක් සොයාගෙන නොමැත.

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දෙදින තුළ පැවැත්වූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී පොදු දේපොළ සාවද්‍ය පරිහරණය සහ ඊට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 2ක් සැකකාර හිටපු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල - රජමල්වත්ත පාරේ පිහිටි නිවසට ඊයේ සහ පෙරේදා අවස්ථා කිහිපයකදී පැමිණියද සැකකාර මන්ත්‍රීවරයා නිවසේ රැඳී සිටියේ නොමැත.

අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාගේ කොළඹ - මල් මාවතේ පිහිටි නිවසේද පෙරේදා රාත්‍රීයේ දක්නට ලැබුණේ ඔහුගේ පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන් පමණයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා පමණි.

මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුන් අතර රවී කරුණානායක මහතා රටින් පලාගොස් සිටින මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්,සභාපති ජෙෆ්රි ඇලෝෂියස්  ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් සහ මහබැංකුවට අනුබද්ධිත ආයතනවල හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් වේ.

 

 

 

Rate this item
(0 votes)

Related items