June 28, 2024

කලාවට අඳුරු වලාවක්

මෙරට විශ්වවිද්‍යාලවලට හදුන්වා දීමට බලාපොරොත්තුවන නව විද්‍යා හා තාක්ෂණ පීඨය තුළින් රජය බලාපොරොත්තු වන්නේ කලා පීඨයේ සිසුන්ගේ ප්‍රමාණය අඩු කිරීමට බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මේවනවිට උසස් පෙළ හදාරන සිසුන්ට විද්‍යා, වානිජ හා කලා විෂයයන්ට අමතර ව නව විෂයක් ලෙස තාක්ෂණික විෂය ධාරව හඳුන්වා දී ඇති අතර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ නව තාක්ෂණ පීඨයක්ද ආරම්භ කිරීමේ රජයේ සැලසුම ගැටළු සහගත නොවුණහොත් එය පුදුමයට කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.

තාක්ෂණික විෂයයන් හැදෑරීමට අවශ්‍ය වන්නේ කාර්මික විද්‍යාල හා තාක්ෂණ විද්‍යාල බවත් ඉන් බිහිවන්නේ තාක්ෂණික විෂයන් සම්බන්ධ පුද්ගලයින් බවත් විශ්වවිද්‍යාලයකින් බිහි වන්නේ දේශපාලන විද්‍යාව, අධ්‍යාපනඥයින් ඇතුළු විද්වතුන්වන අතර මෙම තාක්ෂණික විෂය විශ්වවිද්‍යාලයට ඇතුළු කිරීම ප්‍රායෝගික නොවන බවත් නජිත් ඉන්දික මහතා සඳහන් කළේ ය.

රජයට උපාධිධාරීන්ට රැකියා ලබා දීමට නොහැකි නිසා මෙම නව තාක්ෂණික විෂයන් හඳුන්වා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

අප මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් විමසූවිට සඳහන් කළේ මේවන විට උසස් පෙළ සඳහා තාක්ෂණ විෂය හදාරන සිසුන්ට 2016 වසරේදී විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට නියමිත බැවින් මේවනවිට සියලුම විශ්වවිද්‍යාවල නව විද්‍යා හා තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

Rate this item
(0 votes)