June 25, 2024

වාහන ජාවාරමක තතු හෙළිවෙයි

වාහන සොරකම් කර ඒවා කොටස් ගලවා පරණ යකඩ භාණ්ඩ එකතුකරන කඩවලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසයි.

 

මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු වයස අවුරුදු 42ක් වු පුද්ගලයෙකු වන අතර එම සොරකම් කළ වාහනවල කොටස් මිලදීගත් වැල්ලම්පිටිය, මල්වාන, දොම්පේ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

නවගමුව පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ආලවක බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් මත ප්‍රධාන සැකකරු පාදුක්ක ප්‍ර දේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු සන්තකයේ තිබී වාහන වල ව්‍යාජ යතුරු කිහිපයක්ද අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් වාහන අතර ටිපර් රථ 03ක්, වෑන් රථ 02ක් හා කාර් රථයක්ද තිබූ බවත් ඇතැම් වාහන ව්‍යාජ අංක යොදා කලී පදනම මත යොදවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නවගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 

 

කඩුවෙල - අයිරංගි එදිරිසිංහ

 

Rate this item
(0 votes)