May 19, 2024

පොලීසියට පහරදී පොලිස් යතුරුපැදිවලින්ම සැකකරුවන් පලායයි (VIDEO)

සීදුව කලපුව මාර්ගයේ අසල නවතා තිබූ සැක සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එම රථය අසල සිටි පිරිසක් පහර දී පළා ගොස් තිබේ.

සීදුව පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු සීදුව කලපුව මාර්ගයේ ගංජා වැටලීමක් සඳහා යමින් සිටියදී මෙම සැක කටයුතු සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කර තිබේ. 

මෙම වාහනය දෙසට පොලිස් නිලධාරීන් පැමිණීමේ දී වාහනයේ සිටි දෙදෙනෙකු කලපුව දෙසට දිව ගොස් ඇත. පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් පසුපස හඹා ගිය බවත් එම අවස්ථාවේ සුඛෝපභෝගී රථයේ සිටි අනෙක් සැකකරුවන් තිදෙනා සමග පොලිස් නිලධාරීන් දෙදෙනා පොර බදා ඇති බවත් වාර්තා වේ. අනතුරු ව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් යතුරු පැදි 02 ක් ද රැගෙන පළා ගොස් ඇත. 

එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ටී 56 ගිනි අවි 02 ක් සැකකරුවන් සන්තකයේ තිබී ඇති අතර ව්‍යාජ අංක තහඩුවක් ද මෝටර් රථයේ තිබී හමු වී ඇත. පළා ගිය පුද්ගලයින් දෙදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුගෙන් මේ වනවිට ප්‍රශ්න කරන බව පොලීසිය පැවසී ය.

පොලිස් යතුරු පැදි පැහැර ගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර යම් අපරාධයකට ඔවුන් සම්බන්ධ යැයි පොලීසිය සැක කරයි.

කළුතර - බිමල් ජයසිංහ 

සබැඳි ලිපි - (UPDATE) පොලිස් යතුරුපැදි දෙක සොයා ගනී

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 13:37