May 19, 2024

වකුගඩු රෝගය නිවාරණයට ජනපති ජාත්‍යන්තර සහය ඉල්ලයි 

ශ්‍රී ලාංකීය ගොවි ජනතාව මුහුණදී සිටින ඉතා ඛේදනීය ඉරණමක් වු වකුගඩු රෝගයෙන් එම ජනතාව බේරා ගැනීම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරයි. 

ශ්‍රී ලංකාවට හිතැති සියලූ මිත්‍ර රාජ්‍යවල සහය ඒ සදහා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසූවේ විදෙස් රටවල තානාපතිවරුන් සමග ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි. 

දැනට ප්‍රදේශ රැසක 40,000 ක පමණ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුව සිටිති. එම රෝගය හේතුවෙන් දහසක පමණ පිරිසක් වාර්ෂිකව මිය යති. මෙම තත්ත්වයට ප්‍රමුඛ හේතුවක් ලෙස හදුනාගෙන ඇත්තේ ජනතාවගේ පානීය ජල ගැටලූව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට විසදුම් සෙවීමේදී ජාත්‍යන්තරයේ සහය අපේක්ෂා කරන බව පැවසීය. 

රෝගයට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කටයුතු සුදහා දිවයින පුරා සියලූ රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් කටයුතු කළද වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාම හේතුවෙන් ගැටලූ මතුවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ සදහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට තානාපතිවරුන් එම අවස්ථාවේම සිය එකගතාවය පළ කළ අතර සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාව වෙනුවෙන් ගෙනයන මානුෂීය වැඩපිළිවෙලද ඇගයීමට ලක් කළහ.

වකුගඩු රෝගය ඇතිවීමට මූලිකවන කරුණු පිළිබද වැඩිදුරටත් පරික්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මෙම හමුවට එක්වූ නියෝජිතයා පැවසූ අතර ශ්‍රී ලංකාවේ පානීය ජල ව්‍යාපෘති සදහා ලබාදෙන ආධාර ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව යුරෝපා සංගමය නියෝජනය කරමින් සහභාගීවූ නියෝජිතවරයා පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ප්‍රකාශ කළේ පොල්ගහවෙල, කුණ්ඩසාලේ සහ කලූතර පානීය ජල ව්‍යාපෘති සදහා සහය ලබාදීමට අපේක්ෂා කරන බවයි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරුවූවන් 60,000 ක් වෙනුවෙන් ආධාර ලබාදීමට ජපන් රජය එකගතාවය පළ කළේය.

උතුරු පළාතේ ලක්ෂයකට ජලය සපයාදිය හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහය ලබාදෙන බවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරමින් ඕස්ටේලියානු තානාපතිවරිය සදහන් කළාය. 

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන්ද විදේශ රටවල් රැසක තානාපතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)