May 19, 2024

වත්කම් බැරකම් ප්‍රකාශ අගෝස්තු 05ට පෙර දෙන්න - මැ.කො

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අගෝස්තු 05 දින හෝ එදිනට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ජූලි 31 දින පසලොස්වක පොහොය නිවාඩු දිනයක් නිසා සහ අගෝස්තු 01 සහ 02 දෙදින සති අන්ත නිවාඩු දින හේතුවෙන් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ තැපෑලෙන් එවන අපේක්ෂකයන්ට ඇතිවිය හැකි අපහසුතා මඟ හැරීම පිණිස එකී ප්‍රකාශ භාරදීමේ යෝජිත දිනය මේ ලෙස දීර්ඝ කර ඇත. පසුගිය 28 වැනිදා දේශපාලන පක්ෂ නිත්‍ය නියෝජිතයන්ගේ රැස්වීමේ දී කරන ලද ඉල්ලීමක් අනුව අදාළ දින දීර්ඝ කිරීම සිදු කර ඇත. 

මීට පෙර සියලු වත්කම් හා බැරකම් ප්‍රකාශ ජූලි 31 දින හෝ එදිනට පෙර භාරදිය යුතු බවට පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේ දී ඇතිකරගත් එකඟතාව අනුව තරග කරන අපේක්ෂකයන් අතරින් වැඩි සංඛ්‍යාවක් ස්වකිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මේ වනවිටත් භාර දී තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

Rate this item
(1 Vote)