May 19, 2024

'සන්ධාන ප්‍රතිපත්තියේ සුළු ජාතීන්ට සැළකිය යුතු දෙයක් නෑ' - දිගම්බරම්  

එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනයේ වතු කම්කරුවන්ට සහ මේ රටේ සුළු ජාතීන්ට සැළකිය යුතු දෙයක් ඉදිරිපත් කර නොමැති බව වතු යටිතල පහසුකම් අමාත්‍ය සහ නුවරඑළිය දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) කාසල්රී ප‍්‍රදේශයේ පැවති මැතිවරණ ප‍්‍රකාශන රැස්වීමක් අමතමිනි.

ජාතිවාදය වපුරා කතා කළ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මැතිවරණයේ දී අන්ත පරාජයට ලක් වූ බවත් මෙවර මහ මැතිවරණයේ දී ද ඔහු නැවතත් ජාතිවාදය වපුරා කතා කිරීම නිසා මහ මැතිවරණයේදීත් අන්තපරාජයක් ලබන බවත් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසුවේ ය. 

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සහ වතු නිවාස ඉදි කිරීම පිළිබඳ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇති බවත් වතුකම්කරුවන්, සුළු ජාතීන් ඇතුළු මේ රටේ සමස්ත ජනතාවට පොරොන්දු ඉටු කිරීමට හැකි එකම නායකයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ඔහු සඳහන් කළේ ය. 

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ආසන 117 ක් ලබා අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රට නැවතත් පාලනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 15:41