May 19, 2024

'රටේ කළු ආර්ථිකයක්' - ව්‍යාපාර පිරිසිදු කිරීමට අනුර සැරසෙයි 

මෙරට ආර්ථිකය කළු ආර්ථිකයක් බවට පත්කර ඇති බවත් රටේ දේශපාලකයින් නීති රෙගුලාසිවලින් රිංගා තමන්ගේ කළු ව්‍යාපාර කරන විට අනෙකුත් ව්‍යාපාරිකයින්ට කළු ව්‍යාපාර කිරීමට බලකර තිබෙන බවත් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා කොළඹ ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවති ජවිපෙ ජාතික වැඩපිළිවෙළ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයින්ට පිළිගැන්වීම සහ ඒ පිළිබඳ සංවාදයකට එක්වෙමිනි.

එහිදී අනුර දිසානායක මහතා ව්‍යාපාරිකයින් අමතමින් මෙසේද පැවසී ය.

“සාමාන්‍ය කථාබහක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් වාහන දෙකක් තිබෙන පුද්ගලයාගෙන් එක වාහනයක් ආණ්ඩුවට ලබාගන්නවා, එසේත් නැතිනම් ෆැක්ටරි දෙකක් තිබෙන ව්‍යාපාරිකයාගෙන් එක් ෆැක්ටරියක් අත්පත් කරගන්නවා වැනි සැකයක්. පැහැදිලිව කියන්න  ඕනි ඒ ක‍්‍රමය අනුගමනය කළේ සරදියෙල්. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්තිය තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියෙල් පන්නයේ එකක් නෙවෙයි.“ 

“අපේ රටේ මතුවෙලා තිබෙන අර්බුදය මොකක්ද කියලා පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්න  ඕනෑ. අපේ රටට භාණ්ඩ ගෙන්වීම සඳහා මේ වනවිට ඩොලර් බිලියන 25ක් අවශ්‍යයි. ඒ අතර අපේ රටින් භාණ්ඩ අපනයනය කොට ලබන ආදායම ඩොලර් බිලියන 14යි. එවිට අපේ රටට ඩොලර් බිලියන 11ක ආනයන අපනයන හිඟයක් ඇතිවෙලා තිබෙනවා. මෙම ඩොලර් බිලියන 11ක හිඟය පියවා ගන්නේ කොහොමද? ඒ තමයි අපිට තිබෙන ප‍්‍රධාන ගැටලූව වී තිබෙන්නේ. අපේ රටට ආදායම විදියට ප‍්‍රධාන වශයෙන් විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 06කුත් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.6කුත් ලැබෙනවා. ඩොලර් බිලියන 04කට ආසන්න ප‍්‍රමාණයක් වන ඉතිරිය වාර්ෂිකව අපි ණය වශයෙන් ලබාගන්නවා. ඔබ කල්පනා කර බලන්න, රුපියල් 2500ක් වියදම් කරන නිවසක් ආදායම් වශයෙන් රුපියල් 1400ක් නම් ලබන්නේ ඇතිවන තත්වය මොකක්ද කියලා. රටක් ගත්තම ඒ අර්බුදයට මුහුණ දෙනවා. මහා ණය කන්දක් සහිත රටක් අපට අද ඉතිරි වී තිබෙනවා. මේ වනවිට රුපියල් කෝටි 740,000ක ණය ප‍්‍රමාණයක් ගොඩගැහී තිබෙනවා. අද ඉපදෙන බිළිඳාගේ සිට ලෙඩ ඇඳේ සිටින මහල්ලා දක්වා රුපියල් 350,000කට අධික ඒක පුද්ගල ණයකරුවන් බවට පත්වී තිබෙනවා.“ 

“දැන් අපේ රටේ ආර්ථිකය කළු ආර්ථිකයක් බවට පත්කර තිබෙනවා. අපේ රටේ දේශපාලකයින් නීති රෙගුලාසිවලින් රිංගලා තමන්ගේ කළු ව්‍යාපාර කරන විට අනෙකුත් ව්‍යාපාරිකයින්ට කළු ව්‍යාපාර කිරීමට බලකර තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරවලට තිබෙන්නේ කළු වර්ණයක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව කියනවා අපේ රටේ ව්‍යාපාරවල කළු වර්ණය ඉවත් කරනවා කියලා. අපේ රටේ ව්‍යාපාර පිරිසිදු කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ව්‍යාපාරිකයින් නෙවෙයි. දැන් අපේ රටේ මුදල් ඇමති අයවැය හදනකොට තමන්ගේ ව්‍යාපාර ගැන හිතනවා. ආයෝජන ඇමති, කර්මාන්ත ඇමති, ප‍්‍රතිපත්ති හදනකොට තමන්ගේ ව්‍යාපාර ගැන හිතලයි ඒවා සකස් කරන්නේ. රට ගැන හිතලා නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ව්‍යාපාර කරන්න දේශපාලනයට ආපු අය නෙවෙයි. දේශපාලනය කරන්න ව්‍යාපාර කරන අයත් නෙවෙයි. ඒ නිසා අපේ රටේ ව්‍යාපාර පිරිසිදු කරලා දෙන්න පුළුවන්.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

Rate this item
(0 votes)