May 19, 2024

කිළිනොච්චි ජනතාවට ජනපති කී කතාව

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව මෙවර බලයට පත්වන නව රජය තුළින් මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ඇතුලු සියලු ජනතාවට සහෝදරත්වයෙන් යුතුව ජීවත් විය හැකි නව රටක් බිහිකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (28) සවස කිළිනොච්චියේ දී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කිළිනොච්චිය නගරයේ අලුතින් ඉදිකළ සතොස වෙළදසැල විවෘත කිරීමෙන් පසුව රැස්ව සිටි ජනතාව අමතමිනි. ජනාධිපතිවරයා කිළිනොච්චියට පැමිණීමට පෙර වැලිඔය සහ යාපනය ප්‍රදේශ වලද සංචාරය කොට මහජන හමු කීපයකටද සහභාගි විණි.

කිළිනොච්චියේදී තවදුරටත් ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ මහමැතිවරණයෙන් බලයට පත්වන නව රජය හරහා විශාල පරිවර්තනයක් ඇති කිරීමට තමන් කටයුතු කරන බවයි.

රටේ ජනතාවට කිසිදු බියකින්, සැකයකින් හා අවිශ්වාසයකින් තොරව රට තුළ මෙන්ම නිවසේ ද ජීවත්විය හැකි පරිසරයක් ඇති කොට දීම තම අරමුණ බව කී ජනාධිපතිවරයා මේ රටේ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර වශයෙන් පළාත් තිබිය යුත්තේ සිතියම්වල පමණක් බව ද පැවසීය. එසේ නොමැතිව වෙනත් ක්‍රමයකට රට බෙදීමට වෙන් කිරීමට කවරෙකුවත් උත්සහ නොකළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෑම අයෙකුම මේ රට තමන්ගේ රට වශයෙන් සිතා එය සංවර්ධනය කිරීමට දායක විය යුතු බව ද කියා සිටියේය.

1978 වර්ෂයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සදහා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ තමාව ජනාධිපති ධූරයට පත්කිරීමට බව අවස්ථා කීපයක්ම කියා සිටි ජනාධිපතිවරයා එම තත්ත්වය තමන්ගේ හදවත තුළ ඉතා දැඩිව තැන්පත් වී ඇති බවද කියා සිටියේය. මේ නිසා තමන් මෙහි ජනතාවට ඉතාම ආදරය කරන බව ද රටේ සෙසු පළාත්වලට ලැබෙන අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂිකාර්මික ඇතුලු සියලු පහසුකම් උතුරු නැගෙනහිර ජනතාවට ද ලබාදෙන බව ද පැවසීය.

උතුරේ ජනතාව කෘෂි කර්මාන්තයට ඉතාම දක්ෂ පිරිසක් බැවින් ඔවුන්ට තව තවත් සහන ආධාර උපකාර ලබාදිය යුතුව ඇතත් විදේශ රටවලින් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම කෙරෙහි තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බව කී ජනාධිපතිවරයා පසුගිය වර්ෂය තුළ පමණක්  මේ රටට පිට රටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට රුපියල් කෝටි 6000 ක් වියදම් කොට ඇතැයි ද පැවසීය.

උතුර ඇතුලු මේ රටේ තවත් පළාත්වල මිරිස් වගා කෙරුණ ද රටට අවශ්‍ය වියළි මිරිස් වලින් 75% ක්ම තවමත් පිටරටින් රැගෙන ඒම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම දේ මේ රට තුළම නිෂ්පාදනය කිරීමේ දැවැන්ත පරිවර්තනය රජයේ ඉලක්කය හා අරමුණ බවද ප්‍රකාශ කළේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පමණක් නොව නව කර්මාන්තශාලා ඉදිකරමින් ශ්‍රී ලංකාව කාර්මික අතින් ද ඉතා ඉහල මට්ටමකට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා පසුගිය මාස හයක කෙටි කාලය තුළ ද ඒ වෙනුවෙන් යම් ප්‍රමාණයක යමක් සිදුකිරීමට රජයට හැකි වූ බව ද පෙන්වා දුන්නේ ය.

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට නම් රටට අවශ්‍ය සියලුම දේ ඒ රට තුළම නිෂ්පාදනය කිරීමට අදිටන් කරගත යුතු බවත් මේ සදහා සියලු දෙනාගේම සහය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා කිළිනොච්චියේ දී අවධාරණය කොට සිටියේ ය.

මේ ගමනේ දී සියලුම දෙනා සහෝදරයින් මෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් ඉතා දීර්ඝව විස්තර කළ අතර එකම රටක් යන සංකල්පය මෙහි දී ඉතාම වැදගත් බව ද පෙන්වා දුන්නේය.

තමන් සංචාරය කරන පළාත්වල වැසියන් තමන්ට ඉදිරිපත් කරන බොහෝ ගැටලු දෙස බලන විට ජනතාවට එදිනෙදා ජීවත්වීමේ ප්‍රශ්න හා ගැටලු රැසකටම මුහුණ දීමට සිදුවන බව මේ වන විට තමන්ට අවබෝධ වී ඇති බව කී ජනාධිපතිවරයා සමස්ත වශයෙන් පවතින එම ගැටලුවලට ඉතාම ඉක්මනින් විසදුම් ලබා දී රටේ සියලුම ජනතාව සංවර්ධනය කිරීමත් ඔවුන්ව ආරක්ෂා කිරීමත් තමන්ගේ වගකීම හා යුතුකම බව ද පැවසීය.

දිනසේන රතුගමගේ - කිළිනොච්චියේ සිට

Rate this item
(0 votes)