May 19, 2024

සිංහල චිත්‍රපටත් නිෂ්පාදනය කළ කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන මැලේසියාවේ පදිංචි මොහොමඞ් මුබාරක් මොහොමඩ් මුජහීඩ් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට පොලීසිය විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ රතු නිවේදනයක් මගින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කිරීමට සූදානම් බව යි.

2009 සිට 2014 ජූලි 7 වනදා දක්වා කාලසීමාව තුළ මුජහීඩ් විසින් මත්ද්‍රව්‍ය කන්ටේනර් 7ක් මෙරටට එවා ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර එම කන්ටේනර් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 750 කට වැඩි ප්‍රමාණයක් පොලීසිය පසුගිය කාලයේදී සොයාගෙන තිබිණ. 

මෙරට සිටින ඒජන්තවරයෙකු හරහා අදාළ ජාවාරම මුජහීඩ් විසින් මෙහෙයවනු ලැබ ඇති අතර ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි අහමඞ් නජුමුදීන් නැමැත්තෙකි. අහමඞ් නජුමුදීන් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සම්පූර්ණ තොරතුරු පොලීසියට අනාවරණ වී ඇත.

තව ද මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජහීඞ් නැමති මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරු විසින් මෙරට තිරගතවූ සෙල්වම් සහ පරාවර්තන යන චිත්‍රපට සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙන බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 00:23