May 19, 2024

රනිල්ගේ ලොකුම බොරුව මෙන්න - ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයකින් ලක්ෂ 10කට නව රැකියා ලබා දීමට සුදානම් වී ඇති බව පැවසීම මෑත ඉතිහාසයේ සිදුකල ලොකුම බොරුව බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළක‍ළේ රත්නපුර ඇලපාත ප්‍රදේශයේ මැතිවරණ රැලියකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලැබුණු සැණින් අති විශේෂ චක්‍ර ලේඛනයක් මඟින් රාජ්‍ය සේවයට පියන් කෙනෙක්වත් බඳවා ගැනීමට නොහැකි වන සේ රාජ්‍ය සේවය තවදුරටත් හකුලුවා ලීමට පිඹුරුපත් සැකසු බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී සෙනෙවිරත්න මහතා මෙසේද පැවසී ය.

"එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ කර තුන්කොන් මැතිවරණ සටනක් ඇතිකිරීමට වෙනුවෙන් විශාල උත්සාහයක් අවසාන මොහොත වෙනකම් ගත්තා. නමුත් අවසානයේ ඔවුන් බලාපොරොත්තු නොවු පරිදි මහින්ද රජපක්ෂ මහතා අගමැති සටනට එක්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා මහත් කලබලයටත් භීතියටයත් පත්ව ඇති බව අපිට දැන් පේනවා.මේ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය ඝාතනය කරන්න නොයකුත් බොරු චෝදනා අපහාස කරනවා. ඒවගේම ප්‍රායෝගිකව ඉටුකල නොහැකි පොරොන්දු මල්ලක් ජනතාවට ලබා දෙමින් කෙසේ හෝ බලය ලබා ගැනීමට උත්සහා දැරීම තුල  ඔවුන්ට තිබෙන ජනතා විශ්වාසය තවදුරටත් අඩුවෙමින් යනවා. මොකද පසුගිය මැතිවරණ ‍වේදිකාවේ ලබා දුන් පොරොන්දු තවමත් ඉටු කරලා නෑ.“ 

“රාජ්‍ය සේවකයන් සියලු දෙනාට යතුරු පැදි නිකන් දෙනවා කිව්වා. අපි ඒ වෙනුවෙන් ගත්ත රුපියල් 50,000 වහාම ආපසු දෙනවා කිව්වා. රත්රන් බඩු වල පොළිය කපනවා කිව්වා. මහපොල 5000ක් කරනවා කිව්වා. දැන් මේවා ගැන කිසිම සද්දයක් නෑ. දැන් අලුත් පොරොන්දු. මේ පොරොන්දුත් ඒ පොරොන්දු වගේම තමයි. ජනතාව ගොනාට අන්දන්න, රවට්ටන්න බෑ. මේ නිසා  යුද්ධය නිමා කර රටේ සංවර්ධනය ඇතුලු ජනතාවට දැනෙන වැඩ කොටසක් කරපු එක්සත ජනතා නිදහස් සන්ධාන රජයක් නැවත පිහිටුවීමට ජනතාව ඇඟිලි ගැන ගැන ඉන්නවා. " ඔහු පැවසීය.

 

Rate this item
(0 votes)