May 19, 2024

'මහින්ද පැරදුනේ වෙනස නිසා' - මනුෂ කියයි 

වෙනස සංකල්පය ඉදිරියට පැමිණීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය පත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා පවසයි.

එහෙත් මේ වනවිට මහින්ද අවශ්‍ය මතය සමාජගත වී අවසන් බවත් මහින්ද අගමැති කරවන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් අගෝස්තු 18 වැනිදයින් පසු අනිවාර්යෙන් පිහිටුවන බවත් ඔහු සඳහන් කළේ ය.

මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසී ය, 

"මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කළේ වෙනස සංකල්පය ඉදිරියට ආපු නිසා. මිනිස්සුන්ට නිදහස් රටක් තිබුනා. අතේ හොඳින් සල්ලි ගැවසුනා ඉතින් මිනිස්සු වෙනසක් බලාගෙන හංසයාට ඡන්දය දුන්නා. දැන් ඔවුන් මේ වෙනස හරහා වුනේ රටට විනාශය කියල ඔවුන්ම පිළි ගන්නවා. ඔවුන් පසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා හා එම පවුල ඉලක්ක කරගෙන දැවැන්ත මඩ ප්‍රචාර එල්ල කළා. ලැම්බෝගිනි, රත්තරං, අශ්වයො, හෙලිකොප්ටර් ගැන කිව්වා. නමුන් පසුගිය මාස 06 ඇතුළත ඒ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුනා. අවසානයේ මේ රටේ විශාල වංචාවක් වෙච්ච බැඳුම්කර වංචාව සිදු කරා. දවසින් දවස ආර්ථිකය පිරිහුනා. තේ මිල, රබර් මිල විශාල වශයෙන් අඩු කළා. අද ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා. රට පුරාම කෙරෙමින් පැවතුන සංවර්ධන ව්‍යාපෘති නැවතුන නිසා මේ වනවිටත් රටේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා.“

“ආපස්සට යමින් තියෙන රට යළි ගොඩ ගැනීමට අපට තිබෙන  එකම සාධකය තමා මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම. ඒකට අපිට විශාල කැප කිරීමක් කරන්න සිදු වුණා. අපි පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිට විරෝධතා සංවිධානය කළා. මේ අතර අපි විශ්වාසභංගය අත්සන් කරන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව විශ්වාසභංගය ගෙන එද්දී ඒකට අත්සන් නොකරපු අපේ සන්ධාන මන්ත්‍රීවරු සිටියා. අප කළ සියලු සටන්වල ප්‍රතිඵලයක් හැටියට අපට හැකි වුනා මහින්ද රාජපක්ෂ  මහතාට නිකරුනේ එල්ලවන චෝදනාවලින් නිදහස් කරන්න.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේ ය.

“ඒත් එක්කම අපට හැකි වුණා ගතවුන මාස 06 තුළ ලංකාවේ සිදු කළ විශාලතම මූල්‍ය වංචාව සිදු කළ බව ඔප්පු කර පෙන්වන්න. අපි බල මණ්ඩල රැස්වීම් සංවිධානය කරල ජනතාවට කිව්වා අපේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න මහින්ද රැල්ලට එක්වන්න කියල. අවසානයේ අපිට අපිට පුළුවන් වුණා මන්ත්‍රීවරු 86ක් මාතර වේදිකාවට නංවා ගන්න" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 01:28