May 19, 2024

'පොදු මහජන ගිවිසුමට' සෝභිත හිමි - අගමැති අත්සන් තබයි 

එක්සත් ජාතික පෙරමුණ සමග මෙරට පුරවැසි සංවිධාන, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එක්ව අද (28) ගිවිසුමකට අත්සන් තැබී ය.

ඒ අනුව සිවිල් සහ දේශපාලන සංවිධාන 110ක් සමඟ පොදු මහජන ගිවිසුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබීම අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදමින් ප්‍රතිසංස්කරණ ඇති කිරීම, නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු සේවා ආරක්ෂා කර ගනිමින් රැකියා සම්පාදනය, ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම මගින් ජාතික හා ආගමික සංහිඳියාවට අභියෝගයක් නොවන අන්දමින් රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීම පිළිබඳව කරුණු එම ගිවිසුමට අයත් වේ.

මීට අමතරව ජාතික විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත හා දූෂණ විරෝධී කටයුතු ශක්තිමත් කිරීමේ නව පනත් ඇතුළුව යහ පාලනය ස්ථාපනය කිරීමට අත්‍යවශය නීති සම්මත කිරීම ඇතුළු තව ත් කරුණු 10ක් පිළිබඳව එම ගිවිසුමේ අන්තර්ගත වේ.

එහිදී සිවිල් සංවිධාන නියෝජනය කරමින් ගිවිසුම‍ට අත්සන් තැබුවේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනි. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබී ය.

ජනවාරි 8 ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා වූ පොදු මහජන ගිවිසුම නමින් මෙම ගිවිසුම නම් කර ඇති අතර එය මූලික කරුණු 14කින් සමන්විත වේ.

යහපාලනය ස්ථාපිත කිරීම අරමුණු කර ගත් මහජන ගිවිසුමට අත්සන් කරන කණ්ඩායම්වල නියෝජනයෙන් සමන්විත උපදේශන සභාවක් පිහිටුවා සිවිල් පුරවැසියන්ගේ අදහස් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී දායක කර ගැනීමට ද ගිවිසුම මගින් බලාපොරොත්තු වේ.

Rate this item
(0 votes)