May 07, 2024

එජාප ආධාරකරුවෙකු පැහැර ගනී - සිදුවීම් 538 ක් බව කැෆේ කියයි

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ රත්තොට ආසන සංවිධායිකා රෝහිණි කවිරත්න මහත්මියගේ නිවසේ පිහිටුවා ඇති මැතිවරණ කාර්යාලයේ සේවයේ නියුතු පියල් දසනායක මහතා පැහැරගෙන ගොස් පහර දී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

ඊයේ (26) දසනායක මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් එළියට පැමි‍ණෙමින් සිටි‍ය දී වාහනයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගෙන ගොස් පහර දී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ අධාරකරුවන් පිරිසක් තමා පැහැරගෙන ගිය බවත් මැර පිරිස තමන් ලක්ෂමන් වසන්ත පෙරේරාගේ නිවසට රැගෙන ගිය බවත් පියල් දසනායක මහතා මාතලේ පොලීසියට පැමිණිලි කර ඇත. දසනායක මහතා මේ වනවිට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එසේ ම පසුගිය සති අන්තයේ පුද්ගල පැහැර ගැනීම්, පහරදීම් සහ දේපළ අලාභහානි කිරීම් ගණනාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත් බරපතල සිදුවීම් මාතලේ සහ බදුරලිය ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ වාර්තාවලට අනුව,

එජාපෙ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතාගේ බදුරලියේ පිහිටා ඇති පක්ෂ කාර්යාලයට ගිනි අවි සහිත ව පැමිණි කණ්ඩාමක් ඊයේ (26) එම පහරදීම සිදුකර තිබේ. මෙවර මහ මැතිවරණයේ ගිනි අවි භාවිත කිරීමේ පළමු සිදුවීම මෙයයි.

මේ අතර නාවලපිටිය ගම්පොල පාරේ අංක 211/7 දරණ ස්ථානයේ පිහිටි එජාප අපේක්ෂක ආනන්ද අලුත්ගමගේ මහතා‍ට අයත් කාර්යාලයක් ද ජූලි 25 වැනි දා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇත.

මේ වනවිට සිදුවීම් 538 ක් වාර්තා වී ඇති බවත් ඉන් 23 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි. තවත් සිදුවීම් 515 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස වාර්තා වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දේ.

 

Rate this item
(0 votes)