May 19, 2024

ඉඩම් අත්පත් කරගත් ගම්වාසීන් හරවා යවයි 

කාසල්රී ජලාශයට යාබද පිහිටි නෝර්වුඩ් වතුයායට අයත් යැයි පැවසෙන අක්කර 38 ක පමණ වගාවක් සහිත ඉඩමක් අත්පත් කර ගැනීමට පැමිණි වතුකම්කරුවන් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් එම ඉඩමෙන් ඉවත් කිරීමට නෝර්වුඩ් පොලීසිය අද (27) කටයුතු කර තිබේ.

නෝර්වුඩ් වතුයායේ ග්ලැන්කන් කොටසට අයත් යැයි පැවසෙන මෙම ඉඩමේ වසර 25 කට ප‍්‍රථම තේ වගාකර තිබූ බවත් අනතුරු ව එම ඉඩම වන වගාවට වෙන් කිරීම හේතුවෙන් වගාකර තිබූ තේ වගාව විනාශ වී ගිය බවත් වතුකම්කරුවෝ පවසති.

මෙම ඉඩමේ බීම් කැබලි කිහිපයක් ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිළධාරීවරයාගේ නිර්දේශ මත ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් පිටස්තර පුද්ගලයින් හට ලබා දී ඇතැයි වාර්තා වේ.

තමන් දැනට ජීවත්වන ලැයින් කාමර නිවාස වසර 100 කට වඩා පැරණි බවත් එම නිවාසවල තම පවුලේ සාමාජිකයන්ට ජීවත්වීමට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොමැති බැවින් තමන්ට මෙම ඉඩමෙන් කැබැල්ලක් ලබානොදී පිටස්තර පුද්ගලයින් හට ලබාදීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව වතුකම්කරුවන් හා ප‍්‍රදේශවාසීන් අවධාරණය කරයි.

නායයෑමෙන් අවධානමකට ලක් වී ඇති හැටන් සමනලගම ප‍්‍රදේශයේ පවුල් 04 කට හා තවත් කීපදෙනෙකුට පර්චස් 07 ක් බැගින් වූ ඉඩම් කැබලි කිහිපයක් ලබාදීමට ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරීවරයා විසින් ලබාදුන් නිර්දේශයක් මත ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව කටයුතු කර තිබූ බව අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.ටී.හේරත් මහතා පවසයි.

මහජන විරෝධයක් ගොඩනැගෙන්නේ නම් එම ඉඩම් කැබලි ලබාදීම මැතිවරණය අවසන්වන තෙක් තාවකාලික ව නතර කරන බව ද ප‍්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දී තිබේ.

තම වතුයායට අයත් ඉඩම් බෙදා දීමට වෙනත් පාර්ශවයකට අයිතියක් නැති බව මෙම විරෝධතාවය අතරට පැමිණි නෝර්වුඩ් වතුයායේ සහකාර වතු අධිකාරීවරයා පවසා සිටී. 

මෙසේ වෙනත් පාර්ශවයක් ඉඩම් ලබා දී තිබෙන්නේ නම් ඒ පිළිබඳ නීතිමය පියවර ගන්නා බව වතුකම්කරුවන් හමුවේ සහකාර වතු අධිකාරීවරයා පෙන්වා දී තිබේ.

වසමේ ග‍්‍රාමසේවා නිළධාරීවරයා විසින් විවිධ වරදාන සහ වරප‍්‍රසාද ලබා ගෙන තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදී පිටස්තර පුද්ගලයින් හට මෙම ඉඩමෙන් කොටසක් ලබාදීමට කිසිසේත් ඉඩ ලබා නොදනෙ බවත්  තමන්ට ඉඩම් ලබා දී ඉතිරි ඉඩම් වෙනත් පුද්ගලයින්ට ලබාදීම පිළිබඳ තමන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත් වතුකම්කරුවන් හා ගම්වාසීන් වැඩිදුරටත් අවධාරණය කරයි. 

මේ වනවිටත් එම ඉඩමේ විවිධ අයුරින් ඉඩම් ලබාගත් පිටස්තර පිරිස් ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)