May 19, 2024

වැඩිවූ වැඩිහිටි දීමනාව ලබා ගන්නේ මෙහෙමයි

පසුගිය අතුරු අයවැයෙන් පොරොන්දු වූ පරිදි වැඩිහිටි දීමනාව දෙගුණයකින් එනම් රුපියල් 2000කින් වැඩිකිරීමෙන් අනතුරුව ජුලි මාසය වන විට රුපියල් දස ලක්ෂ 4402.5 ක මුදලක් භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇති බව සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය පැවසුවාය.

ඒ අනුව ලියාපදිංචිව සිටින සියලුම වැඩිහිටියන් සඳහා ලබා දෙන මෙම දීමනාව සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් දස ලක්ෂ 5000 කි. 

මෙම වැඩිහිටි දීමනාව පසුගිය රජය සමයේ රුපියල් 1000 බැගින් වැඩිහිටියන් 248,842 කට ගෙවා ඇති අතර වත්මන් රජය විසින් එම දීමනාව දෙගුණයකින් එනම් රුපියල් 2000 බැගින් වැඩිකර එම දීමනාව ලබා දෙන වැඩිහිටියන් නිවැරදිවම හඳුනා ගෙන වැඩිහිටියන් 386,080 කට ගෙවීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2014 වසරට වඩා 2015 වසරේ එම දීමනාව හිමිවන වැඩිහිටියන් සංඛ්‍යාව 137,238කින් වැඩි වී ඇත. 

මෙම දීමනාව ලබා ගැනීමේදී වැඩිහිටියන් යම් යම් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන අතර එම ගැටලුවලට විසඳුම් වශයෙන් අදාළ සියලුම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පත් කර ඇති බවත්, අදාළ ගැටලු දූරකතන අංක 0777536034 ඔස්සේ අධ්‍යක්ෂ සුවින්ද එස්. සිංගප්පුලි මහතා සහ දූරකතන අංක 0716886121 / 0112587003 ඔස්සේ සහකාර අධ්‍යක්ෂිකා (සංවර්ධන) නයනා සිංගප්පුලිගේ මහත්මිය වෙත යොමු කළ හැකි බවත් අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය. 

ඒ අනුව සෑම මසකම 15 දින සිට 22 දින දක්වා සතිය තුළ මෙම දීමනාව ලබා ගත හැකි අතර සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් අදාළ මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැර ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වෙත මුදා හැරීම සිදු කෙරේ.

Rate this item
(0 votes)