May 19, 2024

මෛත්‍රී - රනිල් සුසංයෝගය මඟින් ඉදිරි පස් වසර තුළ රට ස්ථාවරත්වයකට - චම්පික 

අනාගතයේදීත් ක්‍රියාත්මක වන්නේ ප්‍රතිපත්තිමය අරමුණු මත බවත් ඒ නිසා අපි අත ගහපු කිසිම සටනක් පැරදිලා නැති බවත් එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරමිනි.

අපි හැමවිටම ප්‍රතිපත්ති මත ක්‍රියාකළ පිරිසක්. පක්ෂ වලට, ලකුණු වලට, පාට වලට, බැඳීම් තියාගත්තේ නැති පිරිසක් බවත් අපි බැඳීම් තියාගත්තේ ප්‍රතිපත්ති මත පමණ බවත් ත්‍රස්තවාදය පරාජය කිරීම ඒකීයභාවය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යන දේවල් ළඟාකර ගත හැකි වූයේ ඒ නිසා බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රණවක මහතා,

“1947 දී එක්සත් ජාතික පක්ෂය බිහිවන විට සේනානායකවරුන්ගේ ලංකා ජාතික සංගමයත් බණ්ඩාරනායක මැතිතුමාගේ සිංහල මහා සභාව, කලීල් මැතිතුමාගේ මුස්ලිම් ලීගය සේම පොන්නම්බලම් මැතිතුමාගේ දෙමළ කොංග්‍රසය ආදී නොයෙකුත් ප්‍රවාහයන් එයට ඒකාබද්ධ වුණා. රටේ දෙවන නිදහස් යුගයේදී එක්සත් ජාතික පෙරමුණ නව සම්ප්‍රදායන් සමඟ එලෙස නව ප්‍රතිපත්ති තුළින් නව මිනිසුන්ගේ ගමන් මගක් ඇරඹුවා. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහරුන් මේ වනවිට අගමැති පදවිය ගැන කථා කරනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පරිදි ජනාධිපතිතුමාගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත් පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙනවා. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂට හැර වෙනත් ඕනෑම කෙනෙකුට අගමැති පදවිය ලබාදෙන බව ඊට පෙර සඳහන් කළා. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගය මඟින් ඉදිරි වසර 05 රට ස්ථාවරත්වයකට ගෙනයනවා. 

අපි හුදු විවේචකයින් විචාරකයින් නොවේ. හැමවිටම කටයුතු කළේ ප්‍රතිපත්ති මත. දූෂණයෙන් වංචාවෙන් තොර අමාත්‍යාංශ පවත්වාගෙන යන්නේ කෙලෙසද යන ආදර්ශය රටටම ලබාදුන්නේ අපි. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය රටට ගෙන එන යෝධ සැළැස්මක් ඉදිරිපත් කළේ අපි. විදුලිබල ක්ෂේත්‍රයේ පුණර්ජනනීය ‍වෙනස ඇති කළේ අපි. 

අපි ඉදිරිපත්කරන ප්‍රතිපත්ති සුන්දර වචන මාලාවක් පමණක් නොවේ. එය රටට වැඩක්කර, ස්ථාවරත්වයක් තහවුරු කරගෙන ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාවක්. මේ වන විට රට ශාපලත් පවුල් පාලනයෙන් මිදිල තිබෙනවා. බස් රැලි යුගය අවසන්. සමෘද්ධිය ලබා ගන්නා අහිංසක ජනතාව දේශපාලන වහලුන් බවට පත් කළ යුගය අවසන්. ජාවාරම්කාරයින්ගේ මුදල් වලින් පොස්ටර් කටවුට් ප්‍රදර්ශනය කළ යුගය අවසන්. විදුලිය ලබාදීම මැතිවරණ පොරොන්දුවක් කරගත්ත යුගය අවසන්. මින් ඉදිරියට රට බෙදෙන්නේ නැහැ. රට ගමන් කරන්නේ ඒකීයත්වයෙන් ඒකීයත්වයට. ප්‍රජාතන්තවාදී ප්‍රවාහයේ මතවාදී වෙනසක් සමඟ රට ඉදිරියට ගමන් කරනවා.“ යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)