May 19, 2024

උතුරු, නැගෙනහිර ප්‍රශ්නයට දෙමළ ජාතික සන්ධානයේ මතය එළියට 

උතුරු, නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන පෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ එහි නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (25) යාපනයේදී පැවති සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වීමේ අවස්ථාවේදී ය.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා යොදාගෙන තිබුණේ යාපනයේ උඩුවිල්, මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගණයයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරුද, සෙසු දේශපාලන ක්‍රියාධරයින් සහ විද්වතුන්ද සහභාගි වී සිටියහ.

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසුව අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වන අන්දමට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට බලය බෙදාහැරෙන පෙඩරල් ක්‍රමයකට යාම දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපේක්ෂා කරන බවයි.

උතුරු පළාත් සභාවට අවශ්‍ය සියලු බලතල ලබාගැනීමටද අපේක්ෂා කරන බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා යළි පදිංචි කරවීම ඇතුලු දෙමළ ජනයා වෙනුවෙන් බලාපොරොත්තු වන සෙසු අපේක්ෂාවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ව ඇති බවද සදහන් කළේය.

වවුනියාව - දිනසේන රතුගමගේ  

 

Rate this item
(0 votes)