May 19, 2024

"අපි ජනතාව අන්දන්න සූදානම් නෑ" - පුබුදු ජයගොඩ

ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මේ දිනවල කරමින් සිටින්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණක් බවත් ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම කෙරෙහි ඔවුන්ට කිසිදු සැලසුමක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින කළුතර ප්‍රදේශයේ පවතී ජනහමුවක් අමතමිනි. එහිදී ජයගොඩ මහතා දැක්වූ අදහස් පහතින්,

"දැන් මේ මාධ්‍ය සංදර්ශනවල තියෙන ප‍්‍රශ්නෙ තමයි මේවගේ වැඩේ හරි ලස්සනට තිබ්බට ඇතුලෙ තියෙන්නේ පරණ දේවල්මයි. චෙකොස්ලෝවෙකියානු දාර්ශනිකයෙක් දැනටත් ජීවතුන් අතර ඉන්න ජිජැක් කියනවා. මේ විධියට අධ්‍යාපනය ගැන. ඔහු දැන් තියෙන අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වන්නේ ඩී කැෆිනේට්  (Decaffeinate) කියලා. ඒ කියන්නේ කැෆේන් නැති කෝපි වගේ. අධ්‍යාපනය නැති අධ්‍යාපනය. පිට ඔපේ විතරයි.
උදාහරණෙකට ගමුකෝ මේ තුන්ගොල්ලන්ගේ ප‍්‍රවාහන සම්බන්ධ ප‍්‍රතිපත්තිය. බලන්න දෙයක් නෑ කියන්නේ අධිවේගී පාරවල් හදන එක ගැන තමයි කියන්නේ. නැත්නන් වැඩිපුර වාහන ගෙන්නන විධිය. ඒ සඳහා බදු සහන දෙන ඒව තමයි කතා කරන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා. මේ පාසල් සිසුන්ගේ ප‍්‍රවාහන ගැටළුවට උත්තර.
1. පාසල් සේවා විධිමත් කිරීමට නීති හදනවා.
2. පාසල් ළමුන් ප‍්‍රවාහනය සඳහා බස් රථ සහ වෑන් රථ බද්දෙන් නිදහස් කරනවා.
 
දැන් අපි අහනවා. මේ තුනේම තියෙන වෙනස මොකක්ද කියලා. හැමෝම උත්තර දෙන්නේ සමාජයේ ඉහළ ස්ථරයේ ආශාවන් වෙනුවෙන්.
අපි වාමාංශිකයන් විධියට කියනවා. මේවට  ඕන විකල්ප, උත්තරය වෙන වැල් වටරම් නෙවෙයි තියෙන්නේ, පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම. මොකද කොච්චර පාරවල් හැදුවත්, කෙච්චර වාහන ගෙන්නුවත් මේ ප‍්‍රශ්නෙ විසඳෙන් නෑ. රජය මැදිහත්වෙලා පොදු ප‍්‍රවාහනයක් ශක්තිමත් කරන්න  ඕන. අපි මේව කියන්න බය නෑ. අපි මිනිස්සු අන්දන්න සූදානම් නෑ. ඒ නිසා අපි කියන්නේ අපිට තියෙන්නේ වමේ බලයක් ගොඩනගන්න. ඒකට අලුත් ජනතාවක්  ඕන. ඒ අලුත් ජනතාව තමයි හෙට අලුත් සමාජය නිර්මාණය කරන්නේ."
Rate this item
(0 votes)
Last modified on Saturday, 25 July 2015 11:18