April 30, 2024

තරගයේ අඩක් අවසන්: කැන්ගරු ඉනිම නිමා වූයේ මෙහෙමයි!

February 13, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේවන විට පැවැත්වෙනවා.

පළමු තරගයේ දී මෙන්ම කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ඔස්ට්‍රේලියාව යි.

මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියා ඉනිම නිමා වූවා.

ඔස්ට්‍රේලියා ඉනිම

ඔස්ට්‍රේලියා පළමු කඩුල්ල ලෙස දැවී ගියේ පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල කළ බෙන් මැක්ඩෙමෝට්.

නුවන් තුෂාර යැවූ පන්දුවකට ඔහු එල්ල කළ පහරක් මනරම් උඩපන්දුවක් ලෙසින් රැක ගත්තේ වනිඳු හසරංග විසින්.

ඔහු දැවීගියේ ලකුණු 18ක් ලබා සිටිය දී යි.

නායක ඒරන් ෆින්ච් දැවී ගියේ  ලකුණු 25කට යි.

පෙරේදා මෙන්ම අද දිනයේ දී ද ෆින්ච්ගේ කඩුල්ල දවා ගත්තේ වනිඳු හසරංග විසින්. 

කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් සිදු කළ ස්ටම්ප් කිරීමකින් ඔහු දැවී ගියා.

තෙවැනි කඩුල්ල ලෙස ග්ලේන් මැක්ස්වෙල් දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට යි.

මැක්ස්වෙල්ගේ පිත්තෙහි ගෑවී ගිය පන්දුව චන්දිමාල් විසින් රැකගැනීමෙන් ඔහු දැවී ගියා.

සිය පළමු ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය අභියස සිටිය දී ජෝෂ් ඉංග්ලිස් දැවී ගියේ ලකුණු 48ක් ලබා සිටිය දී යි.

වනිඳු හසරංග විසින් යැවූ පන්දුවකට ඉංග්ලිස් එල්ල කළ පහරක් මනරම් උඩපන්දුවක් ලෙස නායක දසුන් ශානක විසින් රැකගත්තා.

මුලු ලකුණු ගණන 145ක් බවට පත්වෙද්දී දුෂ්මන්ත චමීර පිට පිට යැවූ පන්දු දෙකක දී කඩුළු 02ක් ලබා ගත්තා.

ලකුණු 14ක් ලබා සිටි ස්ටීව් ස්මිත් සහ ලකුණු 19ක් ලබා සිටි මාකස් ස්ටෝනිස් එලෙස දැවී ගියා.

පිටියේ රැඳී සිටි පිතිකරුවන් දෙදෙනාම එලෙස දැවී යද්දී නවතම පිතිකරුවන් දෙදෙනෙකු ලෙස පැමිණි මැතිව් වේඩ් සහ පැට් කමින්ස් එක්ව ලකුණූ 19ක සබඳතාවක් ගොඩ නැගුවා.

නියමිත පන්දුවාර 20 අවසන්වන විට කඩුළු 06කට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුලු ලකුණු ගණන 164කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

පැට් කමින්ස් නොදැවී ලකුණු 6ක් ද මැතිව් වේඩ් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 165ක්.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුළු දෙක බැගින් බිඳහෙලු අතර නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිලිතුරු ඉණිම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

තරගයේ ඉදිරි තොරතුරු සඳහා ඒෂියන් මිරර් සමගින් රැඳී සිටින්න…

පළමු තරගය

තරග 05කින් සමන්විත තරගාවලියෙහි පළමු තරගය ජයගත්තේ ඔස්ට්‍රේලියාව විසින්වන අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

එම තරගය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා උසස් දස්කම් දැක්වූ අතර ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියා පිතිකරුවන් ලකුණු 149කට සීමා කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් පන්දු යවන්නන් ලබා දුන් ජයග්‍රාහී මාවත මකා දමන්නට සුපුරුදු ලෙස පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතු වූයේ අවාසනාවන්ත ලෙස යි.

ශ්‍රී ලංකාව තරගය පරාජය වූයේ ලකුණූ 20කින්.

බිනුරට කොවිඩ්

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ තවත් අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

ඒ, වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුණා ගැනීම යි.

පළමු තරගයේ දී බිනුර ප්‍රනාන්දු ඉතා හොඳින් පන්දු යැවීමෙහි නිරත වූ අතර එනිසාම ජාත්‍යන්තරයේ පවා ඔහු කතාබහට ලක් වූවා.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග බිනුර හට තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇති බවට යි මත පළව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් 19 වෛරසය පැතිර යාම දින ගණනාවක සිට නිරීක්ෂණයවන අතර කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද මේවන විට ආසාදිතව පසුවනවා.

එනිසා ඔහුට පළමු තරග දෙක අහිමිව තිබෙනවා.

මීට පෙර දසුන් ශානක, චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර ඇතුළු කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

මේ අතර බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර කැඳවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 17:25