April 30, 2024

වගකීමක් නැති පිතිකරුවන් නිසා අතට ගත් දේ කටට දා ගන්නට නොහැකි වෙයි

February 11, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී.

විටින් විට වර්ෂාවෙන් ද  තරගයට බාධා සිදුවූ අයුරු දක්නට ලැබුණා.

ඔස්ට්‍රේලියා ඉනිම

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ් අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසුණා.

තරගයේ 05 වැනි පන්දු වාරයේ දී ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නාවන වනිඳු හසරංග සමත් වුණා. 

ෆින්ච් දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

අද දින ජාත්‍යන්තර විස්සයි 20 වරම් හිමි කරගත් ජෝෂ් ඉංග්ලිස් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ 11 වැනි පන්දු වාරයේ දී යි.

ලකුණූ 23ක් ලබා සිටි ඔහුගේ කඩුල්ල ලබා ගත්තේ චාමික කරුණාරත්න විසින්. 

එම කඩුල්ල ද පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියා.

ඔස්ට්‍රේලියා මුලු ලකුණු ගණන 90ක් බවට පත් වෙද්දී තුන්වැනි කඩුල්ල දවා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර එලෙස දැවී ගියේ ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල යි.

චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට මැක්ස්වෙල් ලබා සිටියේ ලකුණූ 07ක් පමණ යි.

සිව්වැනි කඩුල්ල දවා ගැනීමට ද වනිඳු හසරංග සමත් වූයේ සිය අවසන් පන්දුවාරයේ දී යි.

ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල එලෙස දැවී ගියා.

පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවී දැවී යන විට ස්මිත් ලබා සිටි ලකුණූ ගණන 09ක්.

ශ්‍රී ලංකාවට හිසරදයක් මෙන්ම ඔස්ට්‍රේලියා ඉනිමෙහි ජීවය බවට පත්ව සිටි බෙන් මැක්ඩෙමොට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගෙන පස්වැනි කඩුල්ල ලෙස දවා ගත්තේ චාමික කරුණාරත්න විසින්. 

දැවී යන විට අර්ධ ශතකයක් ද සමගින් මැක්ඩෙමොට් ලබා සිටි ලකුණූ ගණන 53ක්.

බිනුර ප්‍රනාන්දු විසින් හය වැනි කඩුල්ල දවා ගත්තා.

මැතිව් වේඩ් එල්ල කළ පහරක් මනරම් උඩ පන්දුවක් ලෙසින් නායක දසුන් ශානක රැකගත්තේ සියල්ලන්ම පුදුමයට පත් කරවමින්.

වේඩ් දැවී ගියේ ලකුණූ 04කට යි.

එම කඩුල්ලෙන් පසුව එළැඹි මීලඟ පන්දුවේදීම මීලඟ කඩුල්ල ලෙස ආක්‍රමණශීලී පිතිකරු මාකස් ස්ටෝනිස්ව දවා ගන්නට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යන විට ස්ටෝනිස් ලබා සිටි ලකුණු ගණන 30ක්.

මිචෙල් ස්ටාක්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කරමින් දුෂ්මන්ත චමීර විසින් ඔහු දවාගත්තා.

නවවැනි කඩුල්ල ද දවා ගත්තේ චමීර විසින්ම යි.

පැට් කමින්ස් එල්ල කළ දැවැන්ත පහරක් චාමික කරුණාරත්න විසින් උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ඔහු දැවී ගියා.

කමින්ස් හට ලබා ගත හැකි වූයේ ලකුණු 02ක් පමණ යි.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන්ට ලකුණූ 150 සීමාව හෝ පසු කර යාමට නොහැකි වීම විශේෂයෙන් කැපී පෙනුණා.

කඩුළු 09ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුනූ 149ක් පමණ යි.

මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලැබුණු ඉලක්කය ලකුණූ 150ක්.

ශ්‍රී ලංකා ඉනිම

ප්‍රබල ඔස්ට්‍රේලියා පිතිකරුවන් ලකුණූ 149කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණත් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට මුහුණ දීම ශ්‍රී ලංකාවට පහසු වූයේ නැහැ.

පන්දු යවන්නන් විසින් වෙහෙස මහන්සි වී ලබා දුන් පහසු ඉලක්කය සුපුරුදු වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හරහා පිතිකරුවන් විසින් විනාශ කරගන්නා අයුරු අද දිනයේ දීත් විශේෂයෙන් කැපී පෙනුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල දැවී ගියේ මුලු ලකුණු ගණන 03ක් බවට පත් වෙද්දී යි.

එක් ලකුණක් පමණක් ලබා සිටිය දී එලෙස දැවී ගියේ ධනුෂ්ක ගුණතිලක යි.

තුන්වැනි කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණූ 06ක් පමණක් ලබා සිටිය දී යි.

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක එක්ව ලකුණු 43ක සබඳතාවක් ගොඩ නැගූ නමුත් තුන්වැනි කඩුල්ල ලෙස ලකුණු 36ක් ලබා සිටිය දී නිස්සංක දැවී ගියා.

අසලංකට ද ලබාගත හැකි වූයේ ලකුණු 16ක් පමණ යි.

පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා ඊළඟ පිතිකරු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග හට ද සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු ලකුණු 13කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිම මධ්‍යයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර වැසි නැවතුණු පසු තරග තීරකවරයා දැනුම් දුන්නේ DLS ක්‍රමයට අනුව පන්දුවාර ගණන 19 දක්වා අඩු කිරීමට තීරණය කළ බව යි.

ඒ අනුව පන්දුවාර 19ක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය ද ලකුණු 143 තෙක් අඩු වූවා.

කෙසේ වෙතත් එය කරා යාම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අසීරු ක්‍රියාවක් වූ අතර නායක දසුන් ශානක 06 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 07කට යි.

චාමික කරුණාරත්න හට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වූවා.

දුෂ්මන්ත චමීරට ලබා ගත හැකි වූයේ ලකුණූ 05ක් පමණ යි.

අවසන් මොහොතේ දී ප්‍රවේගකාරී පහරවල්වලට යොමු වෙමින් ලකුණූ රැස් කරන්නට උත්සහ ගත් දිනේෂ් චන්දිමාල්ට ද නොදැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණ යි.

බිනුර ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

නියමිත පන්දුවාර 19 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබාගත හැකි වූ ලකුණු ගණන 122ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ලකුණූ 20කින් ජය ගත්තා.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ලකුණු 18කට කඩුළු 03ක් බිඳ හෙලූ ඇඩම් සැම්පා හට යි.

තරග 05කින් යුතු තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද මේ අනුව ඔස්ට්‍රේලියාව සමත් වූවා.

තරගාවලියේ මීලඟ තරගය ලබන ඉරිදා (13) පැවැත්වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 February 2022 19:16