April 29, 2024

තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා පොඩි කොල්ලෝ අවසාන මහා තරගයට

December 30, 2021

මෙවර ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (30) සමත් වුණා.

ඒ අද ඩුබායිහි පැවැති අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 22කින් පරාජය කිරීමත් සමග යි.

ඒ අනුව හෙට (31) දිනයේ පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම, ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමග තරගවදිනු ඇති.

අද තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 44.5 කදී ලකුණු 147 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5 කදී ලකුණු 125 කට සීමා කිරීමට යි ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයුතු කළේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ට්‍රෙවීන් මැතිව් සහ නායක දුනිත් වෙල්ලාලගේ යන දෙදෙනාගේ දස්කම් කැපී පෙණුනු අතර මැතිව් සිය පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාර 3 ක්ද සමඟ ලකුණු 14 කදී කඩුලු 4 ක් දවා ගත්තා.

කඩුළු 03ක් දවා ගත් නායක දුනිත් වෙල්ලාලගේ පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අහමඩ් ඛාන්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගත් ක්‍රීඩකයා බවට ද පත් වුණා.

වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව අහමඩ් දැවී යන විට ඔහු ලකුණු 36 ක් ලබා සිටියා.

ඒ වන විටත් පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 29 ක් පමණක් වීම විශේෂත්වයක්.

තරගය මුළුමනින්ම ශ්‍රී ලංකාව දෙසට හැරුණු අවස්ථාවක් ලෙසයි එම දැවී යෑම විස්තර විචාරකයින්ගේ අවධානයට පාත්‍ර වූයේ.

තරගයේ වීරයා වූයේ ට්‍රෙවීන් මැතිව්.

මේ අතර මෙම තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පෙරේදා (28) පැවැති තරගය අතරමග දී නතර කිරීමට සිදුවීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත් වූවා.

සාජා පිටියේ දී පැවැති එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම යි.

33 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී හදිසියේම තරගය වහාම නතර කිරීමට තීරණය වූ අතර එයට හේතු වූයේ තරගයේ විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු සහ තරගයට සම්බන්ධ වී සිටි තවත් නිලධාරියෙකු කොවිඩ් 19 ආසාදිත බවට අනාවරණය වීම හේතුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 19:40