April 26, 2024

ක්‍රිකට් අතුරු කමිටුවට නම් ත්‍රිත්වයක් කරළියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමේ සූදානමක් යළිත් කරළියට පැමිණ තිබේ. ඒ සමගම අතුරු කමිටුව සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේ නම්ද මේ වන විට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව තිබේ.

හිටපු අතුරු කමිටු සභාපතිවරයෙක් වන සිදත් වෙත්තමුණි, ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් වන විජය මලලසේකර මෙන්ම හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකයෙකු වන රොෂාන් මහානාම යන මහත්වරුන්ගේ නම්ද එහිදී කියැවේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපියක් රැගෙන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් හමුවීමට පසුගියදා පිටත්ව ගියේය.

ඒ මහතා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඉන්දියාවේ නාග්පුර්හිදී මුණගැසුණු බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ක්‍රිකට් පරිපාලනයට සිදු කිරීමට නියමිත වෙනස්කම් සම්බන්ධයෙන් ඉතා හොඳ සාකාච්ඡාවක් පැවැත්වූ බවත්ය.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වනුයේ වත්මන් ක්‍රිකට් සභාපතිවරයාගේ ආරාධනය මත මෙම මස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මෙරට සංචාරයක නිරත වනු ඇති බවත්ය.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව සැලැස්ම සඳහා අනුමැතියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නොලැබෙන්නේ නම්, මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ අතුරු කමිටු මොඩියුලයක් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙසද ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items