May 03, 2024

සංගා ටෙස්ට්වලිනුත් සමු ගනී 

අගෝස්තු මස දෙවැනි සතියේ දී ඉන්දියාවට එරෙහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට කුමාර් සංගක්කාර තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 03ක් ඇතුළත්වුව ද එහි පළමු තරගයේ දී ම සමු ගැනීමට සංගක්කාර තීරණය කර ඇත. 

කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකි. පසුගිය ‍ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු එක්දින ක‍්‍රිකට් පිටියෙන් ද සමුගත්තේ ය. මෙම තරගය අගෝස්තු මස 18 වැනි දා සිට 22 වැනි දා දක්වා ගාල්ල කී‍්‍රඩාංගණයේ දී පැවැත් වේ. 

2000 වසරේ ජූලි මස 20 වැනි දා දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් සිය ටෙස්ට් දිවිය ඇරඹූ  සංගක්කාර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය ටෙස්ට් දිවියට අවසානය ලබාදෙනු ඇත.

ගාල්ල කී‍්‍රඩාංගණයේ දී ටෙස්ට් තරග 21 කට සහභාගි වී ඇති සංගක්කාර එහි දී ලකුණු 1808 ක් රැස්කරගෙන ඇත්තේ ඉනිමක දී ලකුණු 54.78 ක සාමාන්‍යයක් රඳවා ගනිමිණි. ගාල්ලේ දී සංගක්කාර ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 07කි.

සංගක්කාර මේ වනවිට ටෙස්ට් ලකුණු 12,203 ක් ලබා ගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස් වැනි ස්ථානයේ සිටී. ලකුණු ලබා ගැනීම අතින් පස්වැනි ස්ථානයේ සිටිය ද ටෙස්ට් ද්විත්ත්ව ශතක ලබා ගැනීම අතින් සංගක්කාර දෙවැනිවන්නේ අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන්ට පමණි. ශී‍්‍රමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබාසිටින අතර සංගක්කාර ලබා සිටින ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 11කි. 

 

Rate this item
(0 votes)