May 18, 2024

ක්‍රිකට් අතුරු කමිටුවට ICC අනුමැතිය / කොන්දේසි සහිතයි

මුලින් විරෝධය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුවට, ඉදිරියේදී අයි.සී.සී. (ICC) යෙන් සියලු සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ බව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

'අපි අයි.සී.සී. ප්‍රධානීන් සමග පැවැත්වු සාකච්ඡා සාර්ථකයි. ඔවුන් අපේ කරුණු පිළිගත්තා. ඉදිරියේදී අතුරු කමිටුවට වැඩ කරගෙන යන්න අයි.සී.සී.ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වුණා. මම මුලින් කිව්වා වගේ මම හිටපු මතයේ වැඩ කරගෙන යන්න කිසිදු බාධාවක්‌ නැහැ.' යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීති වලට අනූව ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමට කාල සීමාවක්‌ තිබෙන බැවින් අයි.සී.සී.ය  ඊට මාස අටක්‌ හෝ නවයක්‌ යැයි කොන්දේසියක් සහිතව ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අදාළ කාලය තුළ ලැබෙන්නට නියමිතව තිබෙන මුදල් සහ අනිකුත් වරප්‍රසාද ලබාදීමට පොරොන්දු වී ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී. ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක, ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් සහ භාණ්‌ඩාගාරික නුස්‌කි මොහොමඩ් යන මහත්වරු පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයා සහ ලේකම්වරයා සාකච්ඡා අවසන්ව ප්‍රථමයෙන් දිවයිනට පැමිණියද මෙම සාකච්ඡාව සම්බන්ධව කිසිවක්‌ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම විශේෂත්වයක් විය. 

Rate this item
(0 votes)