May 01, 2024

කරළියෙන් එහා: දයාසිරි - දුමින්ද පොහොට්ටු කාර්යාලයේ යකා නටලා.. රනිල් -ශිරන්ති හමුවක්

කොරෝනා වසංගය ගෝලීය වසංගතයක් ලෙස පැතිරී යද්දී ලංකාවටද එය දැඩි බලපෑම් එල්ල කරමින් පැතිරී ගියේය. මේ හේතුවෙන් රජය කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගත් අතර රටපුරා ඇඳිරි නීතිය පැනවීමටද ක්‍රියා කළේය. විශේෂයෙන් ජනතාව ඇතැම් අවස්ථාවන්හි ක්‍රියා කළේ මෙම වෛරසයේ භයානකකම ගැන තුට්ටුවකට මායිම් නොකරමිනි. එනිසා රජයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. විපක්ෂය දිගින් දිගටම යෝජනා කළේ කොරෝනා වසංගතය අස්සේ රටේ පවතින අර්බුදකාරී තත්වය මත මැතිවරණය කල් දැමිය යුතු බවයි.

නමුත් ආණ්ඩුවේ ප්‍රතිචාරය කෙසේ වෙතත් නාමයෝජනා බාර දීම අවසන් වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊට නිසි තීන්දුවක් දීමට කටයුතු කළේය. ඒ අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය කල්දැමීමට සිදුවන බව ප්‍රසිද්ධියට පත් කරමිනි. ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනව වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසී ය. පසුගිය බ්‍රහස්පතින්දා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එහිදී ප්‍රකාශ කළේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා ම එක්ව එම තීරණයට එළඹි බවය. "නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද" කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය. ''COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි." මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. "කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත" යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මාර්තු 20 සිට 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළේය. එහෙත්, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සඳහා සිකුරාදාත් සෙනසුරාදා දිනයේත් කාර්යාලයට පැමිණීමට මැතිවරණ රාජකාරී කටයුතුවලට අදාළ කාර්ය මණ්ඩලයට සිදුව තිබේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලැබුණු සංඛ්‍යාව හා ප්‍රතික්ෂේප වූ සංඛ්‍යාව මේ මොහොතේ සඳහන් කළ නොහැකි වුව ද සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය. ''ඇතැම් දිස්ත්‍රික්කවල නාම යෝජනා පනහ පැනල. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රුපියල් 2000 ඇප මුදල දීලා මන්ත්‍රී වෙන්න පුළුවන් කියලා. කවුරුත් දන්නේ නෑ 5%ක් ගන්න ඕනා කියලා. කොළඹ, ගම්පහ වගේ 5%න් එන්න පුළුවන්. සමහර දිස්ත්‍රික්ක තියෙනවා මන්ත්‍රී ධූර 4යි. ඒ වගේ කුඩා දිස්ත්‍රික්ක වල 13%ක්වත් ගන්න ඕනා,'' යනුවෙන් මහින්ද දේශප්‍රිය සදහන් කළේ මෙය ඇප මුදල් වැඩි නොකිරීමේ විපාකයක් බවය.

සමගි ජන බලවේගයට එජාපයෙන් ප්‍රශ්නයක්

ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යෝජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි.

වෙනදා මෙන් මන්ත්‍රීවරුන් රැසක් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර කාර්යබහුල තත්ත්වය හමුවේ වුවද ඔවුන් හා සුහද පිළිසදරේ යෙදීමට නායක රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

"කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් දාන්න කියා කව්රුත් කියනවා. නමුත් ආණ්ඩුව එය ගණන් ගන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව කැදවන්න කියලා හැමෝම ඉල්ලුවා. අගමැති කියන්නේ නාමයෝජනා දුන්නට පසු හමුවෙමු කියලායි. මේකට විසදුමක් නැතිද?" නවීන් දිසානායක විමසා සිටියේ නායකයාගෙනි.

"ආණ්ඩුව මුල ඉදළම මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. ඡන්දය කියන්නේ ජනතාව සමග කරන කටයුත්තක්. එංගලන්තයේ නම් ඡන්ද රැස්වීමකට එන්නේ 50 ක් විතර ගානකුයි. අපේ එහෙම නෙවෙයි අපේ රැස්වීමකට දාහක් විතර එනවා. ඒක නිසයි, අපි කිව්වේ ඡන්දය කල් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා අවශ්‍ය මුදල් වෙන් කරගෙන මුළින් ව්‍යසනය අවසන් කරලා ඉමු කියලා. නමුත් ආණ්ඩුවට ඔනෑ ඉක්මණින් ඡන්දය තියන්න." නායකයා පැහැදිලි කළේය.

"ඡන්දය දාන්න පෝලීමේ ඉන්න ඕනේ. එකම පැන්සලෙන් කතිරය ගහන්නේ. ගණන් කරන තැන නිලධාරිනුත් මෙතනදි අර්බුදයට යනවා. හොදම විසදුම ඡන්දය කල් දමා සර්ව පාක්ෂික සමුළුවෙන් ගැටළුවට විසදුම් සෙවීමයි" නායකයා තවත් විස්තර එක් කළේය.

"ජනාධිපතිගේ ජාතිය ඇමතිමේ කතාව නිසා මිනිස්සු තවත් අසරණ වුනා. මීට වඩා දෙයක් කියයි කියා මිනිස්සු හිතුවා." චම්පිකා ප්‍රේමදාස කීවේය.

"ඔව් ඇත්තටම එතනදි ජනතාවට විශ්වාසය තහවුරු වන යමක් කියැවුනේ නැහැ. සියලු දෙනා එකට එක්වී වසංගතය පරදවමු කියන දේ මෙතනදි එළියට ආවේ නැහැ. ඉස්සරහට සිංහල අවුරුදු එනවා. පාස්කු, රාමසාන් කාල එනවා. ඒ කියන්නේ ජනතාව පාරට එන අවස්ථාවයි. මේ ගැනත් යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ." නායකයාගේ කතාව සැවොම අනුමත කළහ.

"සර් රෝයල් - තෝමියන් බිග් මැච් එක බලන්න ගියාලු නේද? එතනත් ආසාදිතයෙකු ඉදලා තිබෙනවා. ඒක නවත්වන්න කියපු එක ඇහුවේ නෑ කියලාද කියන්නේ.

" ඔව් මට එතනදි ශිරන්ති රාජපක්ෂවත් හමුවුනා. මම වැඩිවේලාවක් හිටියේ නැහැ. කොහොමවුනත් අපිත් කිව්වේ මැච් එක නවත්වන්න තිබුණා කියන කාරණයයි." නායකයා කීවේය.

"ජනාධිපතිතුමාත් ආනන්ද - නාලන්ද බිග් මැච් බලනවා අප දැක්කා. එතන වරෙන්තුකාරයෙකුත් හිටියා නේද? කොහොම වුනත් මෙහෙම නම් ඡන්දය කරන්න බැහැ." කේ.කේ පියදාස මැසිවිල්ලි ඉදිරිපත් කළේය.

"ඔව් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම උපයෝගි කරගෙන තුනෙන් දෙක ගන්නයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රාත් ඒක කියා තිබුණා. අප්‍රේල් 25 වැනි දායින් පස්සට යන්න යන්න ආණ්ඩුවට අවාසියි. ඒකයි මේ ඡන්දය කල් දාන්නේ නැත්තේ." වජිර අබේවර්ධන පැහැදිළි කළේය.

"නාම යෝජනා බාර ගත්තාට පසු මැතිවරණ කොමසාරිස්ට මැතිවරණය කල් දාන්න බලය ලැබෙනවා. ඔහු ඒ අනුව කටයුතු කරයි කියා අප හිතනවා." නායකයා සදහන් කළේය.

"මැතිවරණ කොමිසම ඡන්දය කල් දැම්මොත් මුදල් හොයා ගන්නේ කොහොමද?" චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

"මුදල් ගන්න නම් පාර්ලිමේන්තුව කැදවන්න ඕනෑ. මෙහෙම මුදල් ගන්න එක නීත්‍යානුකූල නෑ. පාර්ලිමේන්තුව කැදවීම තමයි, හොදම විසදුම. නමුත් ආණ්ඩුව එය කරන්නේ නැහැ. කැබිනට් එක තියාගෙන දුවන්න බලන්නේ." නායකයා පැහැදිළි කළේය.

"සමගි ජන බලවේගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ පක්ෂයේ කලින් හිටපු කෙනෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිබෙන බව ආරංචියි." වජිර අබේවර්ධන කීවේය.

"ඔව්! එහි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේක සන්ධානයට හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. අනෙක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකකමින් හිටපු විපක්ෂනායකතුමා අයින් වෙලාත් නෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක කෙනෙක්ට ඒ පක්ෂයෙන් ඉල්ලන්න බෑ. මෙයාලා මැතිවරණ කොමිසමට ඔවුන්ගේ අලුත් ව්‍යවස්ථාව දී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් දීපු දිනයටත් පසුව දිනයකයි. මේ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා." පක්ෂ නීති නිලධාරියෙකු පෙන්වා දුන්නේය.

"මේ කට්ටියට කරන්න තිබුණේ කාගෙත් යෝජනාව වෙච්ච කරුණාසේන කොඩිතුවක්කු ලේකම් කරලා ඡන්දයට යන්නයි. එහෙම නම් බය වෙන්න දෙයක් දෙපැත්තටම ඇතිවෙන්නේ නැහැනේ." නවින් දිසානායක පෙන්වා දුන්නේය.

"ආණ්ඩුවට මැතිවරණය කල් දාන්නවත් පාර්ලිමේන්තුව කැදවන්නවත් වුවමනාවක් නැහැ. සර් දැන් අපේ මැතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙල මොකක්ද?" කේ.කේ පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

"අර්ජුන රණතුංග, නවීන් දිසානායක, දයා ගමගේ, රවි කරුණානායක, රුවන් විජයවර්ධන වගේ අලුත් මුහුණු ටිකක් මෙවර මැතිවරණය මෙහෙයවනවා. ඩි.එස් සේනානායක මැතිදුන් හදපු පක්ෂය අලුත් පරපුරක අලුත් ගමන මේ මැතිවරණයත් සමගම ඇති වෙනවා. නයකයා සදහන් කළේය.

"ඔව් දැන් මංගල, රන්ජන්, ඉරාන්, රිෂාඩ්, හකිම්, මනෝ වගේ අය නැහැනේ? මම නම් හිතන්නේ නායකතුමා කිව්වා වගේ මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ගේ සියලු ජාතීන්ට සෙවන වූ එක්සත් ජාතික පක්ෂය දැන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් පක්ෂය ලෙස අපට දැන් බෞද්ධයන්ට වගේම අන්‍ය ජාතීන්ටත් හොදින් ආමන්ත්‍රණය කරන්න පුළුවනි. අපට දිගින් දිගටම අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම ගොඩ නගන්න හොදම අවස්ථාව මේකයි. එදා බෙදිලා තිබුණේ දේශපාලන දර්ශනයන් අනුවයි. නමුත් මෑත කාලයේදි බෙදුනේ ජාතිය හා ආගම අනුවයි. ජාතිය හා ආගම අනුව බෙදුණු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා ගොනුවූ නිසා ඩි.එස් සේනානායක මැතිදුන් හැදු සිංහල බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයට නැති වුනා. දැන් අපට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම පක්ෂයට දිනා ගන්න." වජිර අබේවර්ධන දීර්ඝ විස්තරයක් කළේය.

තිස්සට ජාතික ලැයිස්තුව දෙන්න කිරිඇල්ල කියයි

මේ අතර සමගි ජනබලවේගයේ නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයෝ බොහොමයක් පිටකෝට්ටේ පිහිටි විපක්ෂ නායක සජිත්ගේ කාර්යාලයට පැමිණ සිටියෝය. එහිදි මහ නුවර අපේක්ෂක ලැයිස්තු සකස් කිරිම පිළිබද කතාබහක් ඇතිවිය. එහිදි කළුතර හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ගැටළුව පිළිබදව විමසා සිටියේය.

සිංහල තුනක් හා මුස්ලිම් දෙකක් දිනුවොත් අපෙක්ෂක ලැයිස්තුවේ අනෙක් දස දෙනාටම එක ධූරයකට තරග කරන්න සිදුවීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.  පසුව කිරිඇල්ල හා විතාන ගොස් හොදම විසදුම තිස්ස අත්තනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දීම බවට කිරිඇල්ල කළ යෝජනාව සජිත් පිළිගැනීමත් සමග ප්‍රශ්නය අවසන් විය. 

බැසිල්ගේ සාකච්ඡාවෙන් දයාසිරි - දුමින්ද නාමයෝජනා අත්සන් නොකර පිටව යයි

පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. "ප්‍රසන්න කොහෙද ඉන්නේ...." මහින්ද ඇසුවේය. "සර් මම නෙළුම් මාවතට යන ගමන්...." ප්‍රසන්න උත්තර දුන්නේය.

"මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න..." මහින්ද ප්‍රසන්නට කීවේය. "හරි සර්... මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට කථා කළා..." ප්‍රසන්න කීවේය.

ඒ අනුව පහුගිය සදුදා සිට ප්‍රසන්න පැය 24 ම ගත කළේ නෙළුම් මාවතේය. ප්‍රසන්නගේ සහායට ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක්ද  නෙළුම් මාවතේ කාර්යාලයේ සිටියහ. රට තුළ පැතිර යමින් තිබු කොරෝනා වසංගතය හේතුවෙන් මේ සියලු දෙනා වැඩ කළේ මාස්ක් පැළදගෙනය.

නෙළුම් මාවතේ පහළ කාර්යාලයක පක්ෂ ලේකම් සාගර කාරියවසම් නීතීඥවරු කීප දෙනෙකු සමග නාම යෝජනා පත්‍ර සැකසීමේ නිරතව සිටි අතර බැසිල් නෙළුම් මාවතේ උඩු මහළේ සිය කාමරයේ රැදී සිටිමින් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් නාම යෝජනා ලබා දීමේ දී මතුවන ගැටළු නිරාකරණය කළේය. ප්‍රසන්නට සිදුවුයේ මේ කාර්යාල දෙකටම නිතර යන්නටය. බැසිල් සමග විටෙක විවිධ දිස්ත්‍රික්ක වල නාම යෝජනා ගැටළු විසදීමට එක් වූ ප්‍රසන්න ඉන් අනතුරුව පහළ සාගර කාරියවසම් සමග නාම යෝජනා සැකසීමේ කටයුතු වලට ද දායක වෙමින් සිටියේය.

ශ්‍රී ලනිපයේ සභාපති හිටපු ජනපති මෛත්‍රී නාමයෝජනා අත්සන් කර තිබුණ ද අනෙකුත් දිස්ත්‍රික්ක වල නාම යෝජනා අත්සන් තැබීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළු මතු ව තිබුණි. මේ නිසා ශ්‍රී ලනිපය වෙනම යාමේ සුදානමක් පිළිබද කථාබහක් ආවේ ඔය අතරය. අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යෝජනා පිළිබද ගැටළු මතු ව තිබුණි. එම දිස්ත්‍රික්කවලට ශ්‍රිලනිපය ඉල්ලු අපේක්ෂක සංඛ්‍යාව ලබා ගැනීම සදහා දයාසිරි හා දුමින්ද වෙනම සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර අපේක්ෂත්වය නොලැබුණු ජීවන් ඇතුළු පිරිසක් වෙන ම ඉල්ලීමේ සුදානමක් තිබුණි.

මේ අතර පහුගිය අගහරුවාදා  දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නව යෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.

"මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. අර ප්‍රසන්න තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. මිනිහගේ කට වහන්න කෙනෙක් නැද්ද? ප්‍රසන්න හිතගෙන ඉන්නේ එයා කවුරු කියලද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්. " දුමින්ද මහ හඩින් කීවේය.

සාගර කොතරම් කරුණු කියුවත් එය දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.

මේ අතර ඉහළ මාලයේ සිට බැසිල්ට ද මේ සද්දය ඇහුණි. " ප්‍රසන්න අර මොකද්ද පහළ සද්දෙ කියලා බලන්න...." බැසිල් කීවේ ළග සිටි ප්‍රසන්නටය. ඒ අනුව ප්‍රසන්න සාගරගේ කාමරයට ආවේ දුමින්දලා බැණ වදින්නේ තමන්ට බව නොදැනය. එකවරම කාමරයට පැමිණි ප්‍රසන්න දුටු දුමින්දලා ද තුෂ්ණිම්භුත විය.

"මොකෝ ඇමතිතුමාලා මේ සද්දේ? කියමින් දුමින්දලා අසළින් වාඩි වු ප්‍රසන්න " මොකද අත්සන් කරන්නේ නැද්ද?" යැයි ඇහුවේය. දුමින්ද , දයාසිරි මුහුණට මුහුණ බලාගත්ත මිස කිසිවක් කීවේ නැත.

"අත්සන් කරන්න. අත්සන් කරන්න. මේක ජාතික කර්තව්‍යයක්නේ. ප්‍රශ්නයක් තියනවනම් අන්න බැසිල් ඇමතිතුමා ඉන්නවා. එන්න යමු ගිහින් කථා කරමු." ප්‍රසන්න කිවේය.

දුමින්දලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔවුන් පුටුවෙන් නැගිට්ටේය. "යමු. යමු " ප්‍රසන්න ඉස්සර විය. දයාසිරි හා දුමින්ද බැසිල් සමග සාකච්ඡා කළේ තනිවමය. ප්‍රසන්න එතැනට ගියේ නැත. බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.

අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටළුව විසදාගැනීමට බැසිල්ට හැකි විය. ඒ එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ සාකච්ඡාවේ සිටි ප්‍රසන්න සිය හිතවතෙකු මගින් වීරකුමාරට පණිවිඩයක් දි පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැ‘යි දැනුම් දුන්නේය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටළුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු  අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි.

"මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න." මහින්ද බැසිල්ට කියා තිබුණි. මේ ආරංචිය ප්‍රසන්නට දැනගන්නට ලැබුණි. ඔහු වහා අගමැති මහින්ද ඇමතුවේය.

"සර්... ඒ වැඩේ නම් කරන්න එපා. සර් මේ පාර ඡන්දය ඉල්ලලයි අගමැති වෙන්න ඕන. මිනිස්සු බලාගෙන ඉන්නේ සර්ට ඡන්දය දෙන්න. කුරුණෑගලින් ඉඩ නැත්නම් ගම්පහට එන්න. මම අයින් වෙලා සර්ට ඒ අවස්ථාව දෙන්නම්." ප්‍රසන්න කීවේය.

"නෑ. නෑ. එහෙම ඕන නෑ. ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයාව පාර්ලිමේන්තු යවන්න. " මහින්ද කීවේය.

ප්‍රසන්න බදාදා ගම්පහ නාමයෝජනා භාරදීමට සියල්ල සුදානම් කර තිබුණ ද ඔහු වහා ම එය අවලංගු කළේය. ඒ ගම්පහ ඇපයට තබමින් අනෙකුත් දිස්ත්‍රික්ක වල ශ්‍රිලනිපයේ ගැටළු විසදීමට බැසිල් සමග ප්‍රසන්න එළඹි එකගතාවය නිසාය. කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට නාම යෝජනා සියල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි විය.

මුලින් විරෝධය පළ කල ද දයාසිරිලා බදාදා උදෑසන නෙළුම් මාවතට පැමිණ නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.

බදාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රසන්න උඩුගම්පළ සිය නිවසට ආවේ පසුදින නාමයෝජනා පත්‍ර භාරදීමට  යාම සදහාය. නාම යෝජනා පත්‍රය කොපමණ පරික්ෂා කළත් ඔහුගේ හිතට එය මදි විය. නැවතත් සිය හිතවත් නීතිඥ මහත්වරු කීප දෙනෙක් සමග නාම යෝජනා පත්‍රය පරීක්ෂා කළ ප්‍රසන්න නින්දට ගියේ සුළු දෝෂයක් හෝ නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ නාමයෝජනා භාරදීමට ගියේ නිමල් ලාන්සා ඇතුළු පිරිස සමගය. නීතිඥ සරණ, සරල සොහොයුරෝ ද ඒ සමග වූහ. එක්සත් ජාතික පක්ෂය වෙනමත් සජිත්ගේ ජාතික සමගි බලවේගය වෙනමත් ගම්පහට නාමයෝජනා භාරදුන්හ. ජාතික සමගි බලවේගයේ විජිත් විජිතමුණි සොයිසා දුටු ලාන්සා දැන් මොකද එකතු වෙන්නේ නැද්දයි ඇසුවේය. අපෝ කලබල වෙන්නෙපා. අපේ ආරෝව දියේ ඇන්ද ඉරක් වගෙයි. අපි කට්ටියම වෙලාවට එකතු වෙනවා. විජිතමුණි කීවේය. ඔය කිවුවට දෙගොල්ලෝ මුණට මුණවත් බලන්නේ නෑනේ. ප්‍රසන්න කියන විට විජිතමුණි හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

 

 ප්‍රභාත් මාතරගේ

Rate this item
(2 votes)
Last modified on Sunday, 22 March 2020 04:14