May 20, 2024

කරළියෙන් එහා: එජාපයේ අවසන් හෝරාව සජිත් ලියයි - වියත්මග පිරිස අලුත් පක්ෂයකින් මැතිවරණයට

February 14, 2020

දේශපාලනයට යට නොවී රාජ්‍ය ඇමැතිවරයෙකු ඉදිරියේ තමන්ට නීතියට පිටින් කිසි දෙයක් කරන්න බැරි බව ප්‍රකාශ කරමින් සියලු රාජ්‍ය සේවකයින්ගේ කොන්දට හයියක් වූ ගම්පහ වන අඩවි නිලධාරිනී දේවානිගේ සිද්ධිය දේශපාලන කරළිය උණුසුම් කළේ ජනපති - අගමැති ඇතුළු ආණ්ඩුවම රාජ්‍ය නිලධාරිනියගේ පැත්ත ගනිමිනි. එජාපයේ අර්බුදය මේවන විට තීව්‍ර මට්ටමට පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අලුත් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අතර ලකුණ පිළිබඳ ගැටලුවද ඇතුළු ප්‍රශ්න ගණනාවකට අවසාන විසඳුම අද ලබා දීමට නියමිතය. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කොළඹට කැඳවා ඒ් පිළිබඳ තීරණයක් ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට‌ එජාප මන්ත්‍රීවරු බලපෑම් කර තිබේ. එනිසා අනිවාර්යයෙන්ම එජාපයේ ඉරණම අද විසදීමට නියමිතය.

සජිත් පාර්ශවය කළ ඉල්ලීම මත අලියා ලකුණින් තරඟ කිරීමට ඇති නීතිමය තත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය. මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම අද (14) තීරණය කර ඇත. නව සන්ධානයේ ලකුණ ලෙස ‘අලියා’ ලකුණ ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (14) මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කාලය ලබාදීමටත්, මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් තීරණයක් නොලැබුණොත් යළිත් එම පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමටත් මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළ බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය. සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම සාකච්ඡාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන තීරණයක් ගැනීම දිනෙන් දින කල්දැමීම නොකළ යුතු බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලුත් දේශපාලන පියවරක් ගත්තේය. නව දේශපාලන පක්ෂයක් පිහිටුවා එහි නායකත්වයට පත්වී මහා මැතිවරණයට මුහුණදීමට සජිත් සහ ඔහුගේ කණ්ඩායම මේ වනවිට වැඩ කරමින් සිටිති. මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් ජනවාරි මස 14 වැනිදින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂය ලැයිස්තුගත කර ඇත්තේ හතරවැනි ස්ථානයටය. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ආචාර්ය සේනක ද සිල්වාය. ඔහු කලක් සරත් ෆොන්සේකාගේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. පක්ෂයේ ලේකම්වරයා වන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේය. මොවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිතවාදීහුය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවූයේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එහි නායකයාට අසීමිත බලයක් හිමිවී තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයට වසරින් වසර සාමාජිකයින් පත් කිරීමේ බලය නායකයාට පවරා තිබේ. නායකත්ව අර්බුදයේදී සජිත් කණ්ඩායම එළියේදී බලවත් වුවද ඔවුන්ගේ හඬ ප්‍රබල වුවද කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම්වලදී ඔවුන්ගේ හඬ සුළුතරය බවට පත්වෙයි. එම නිසා පක්ෂ නායකත්වය නිත්‍යානුකූලව වෙනස් කිරීමේ හැකියාවක් සජිත් කණ්ඩායමට නොමැත. අවසානයේ ඔවුහු අන්තිම තුරුම්පුව ලෙස වෙනත් පක්ෂයක් හදා ගත්හ. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ නම වෙනස් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට අපේ ජාතික පෙරමුණ නමින් පක්ෂයක් මැතිවරණ කොමිසමේ පක්ෂ නාම ලේඛනයේ නැත. තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නමැති පක්ෂයයි. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම වෙනස් කළද එහි පක්ෂ ලාංඡනය වෙනස් කිරීම මැතිවරණ කොමිසම පිළිගත්තේ නැත. ‘ලියාපදිංචි පක්ෂයක ලාංඡනය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා පක්ෂයේ මහා සභා රැස්වීමකදී තීන්දුවක් ගෙන නාමලේඛන ආදිය සමග මැතිවරණ කොමිෂන් සභාවට එවන්න ඕනේ. ඊට පස්සෙ කොමිසම සලකා බලනවා. එහෙත් පක්ෂයක ලාංඡනයක් වෙනස් කරන්නේ ඡන්දයක් ප්‍රකාශයට පත්කළ පසුවයි. ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂය ඉල්ලා සිටින හදවත ලාංඡනය ලබාදීම ගැන සලකා බැලිය යුත්තේ මහා මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුවයි.’ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එජාපය අවසන් හෝරාව

මේ අතර එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව  තිබේ. සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායකයා. ඔහු දැන් තවත් පක්ෂයක සභාපතිවරයා. එජාප ව්‍යවස්ථාවට අනුව සාමාජිකයකුට වෙනත් පක්ෂයකට යන්න බැහැ. එහෙම ගියොත් පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න වුණත් පුළුවන්. පක්ෂ සාමාජිකත්වය තහනම් කළහොත් මන්ත්‍රීධුරයත් අහිමි වෙනවා.’ යැයි එජාපයේ ප්‍රබලයෙක් කියන්නේය. මේ අතර ඊට පිළිතුරු ලබාදෙමින් සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ වෙනත් කතාවකි. ‘සජිත් විතරක් නෙවෙයි රනිලුත් අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධුරය අරගෙන තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මස 23 වැනි දින අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. ඒකෙදි සභාපති ලෙස රනිල් පත් කර ගත්තා. ලේකම් ධුරය ගත්තේ රාජිත සේනාරත්න. අද සජිත් වරදක් කරලා තියෙනවා නම් ඊට පෙර ඒ වරද රනිල් කළා.’ යැයි එම මන්ත්‍රීවරයා කියයි.’ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තරග කිරීම පිළිබඳව එජාපයට විවිධ ගැටලු මතු වුණා. පසුව ඒක අර්බුදයක් දක්වා දුරදිග ගියා. ඒ නිසා පෙර සූදානමක් ලෙස අපේ ජාතික පෙරමුණ පක්ෂය සූදානම් කරගෙන තිබුණා’ යැයිද සජිත් කණ්ඩායමේ නායකයෝ ප්‍රකාශ කරති. මේ අතර සමගි ජන බලවේගය නමැති දේශපාලන පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වැඩිබලතල ඇත්තේ මධ්‍යම කාරක සභාවටය. මධ්‍යම කාරක සභාවට අවසන් තීන්දු තීරණ ගත හැකිය. ඊට අමතරව එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වෙනත් පක්ෂයක සාමාජිකයකුට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ගත නොහැකි බවය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සජිත් පිලේ නායකයින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් ලෙස තවමත් සිටියදී නව පක්ෂයේ තනතුරු දරන්නේ කෙසේද කියාය. එවිට එම පක්ෂයේ ක්‍රියාකාරීන් කරුණු පැහැදිලි කර ඇත්තේ ‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අවසන් තීන්දු තීරණ ගන්න පුළුවන්. ඒ අනුව මධ්‍යම කාරක සභාව පසුව තීන්දුවක් දෙනතුරු සජිත් සහ මද්දුම බණ්ඩාර එම තනතුරුවල තැබීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය. ඒ අනුව එම තර්කය හා පැහැදිලි කිරීමද මැතිවරණ කොමිෂන් සභාව පිළිගත්තේය. මේ අතර සමගි ජන බලවේගය පක්ෂය ඉංග්‍රීසි භාෂාවෙන් ලියූවිට ‘යුනයිටඩ් නැෂනල් පවර්’ ලෙස කියවෙන බවද එය කෙටිකර ලියූ පසුව ‘යූඑන්පී’ ලෙස කියවෙන බවත් එම නිසා සමගි ජන බලවේගය පක්ෂය ලියාපදිංචි කිරීම අත්හිටුවන ලෙසත් එජාපය මැතිවරණ කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. එහෙත් එම ඉල්ලීම ලැබෙන විට කොමිසම අවසන් තීරණයක් ගෙන තිබිණ. එහෙත් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ අලුත් පක්ෂයේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන විට එය ඉංග්‍රීසියට පරිවර්තනය නොකොට ඉංග්‍රීසි අකුරින්  ‘සමගි ජන බලවේගය’ යනුවෙන්ම සඳහන් කළහොත් ගැටලුව නිමාවට පත්වන බවය.

ලක්ෂ 28000ක වාහන පිළිබඳව සීඅයිඞීයට පැමිණිල්ලක්

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ආණ්ඩුවෙන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් දීර්ඝ පිළිතුරක් සභාගත කරන ලදී. ඒ පසුගිය ආණ්ඩුව සමයේදී ඇමතිවරුන් සඳහා ගෙන්වන ලද ලක්ෂ 28000කට අධික සුඛෝපභෝගී වාහන ලයිස්තුවක් පිළිබඳවය. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා පිළිතුර සභාගත කිරීමට සැරසෙන අවස්ථාවේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කියා සිටියේ ”ඇමතිතුමා ඔබතුමා වාහන ලැයිස්තුව කියවන එක හොඳයි මොකද රට දැනගන්න  ඕනෑ ජනතා මුදල් භාවිතා කරන ආකාරය ගැන” යනුවෙනි. එයට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා විසින් විනාඩි 20කට ආසන්න කාලයක් වාහන ලැයිස්තුව ප‍්‍රකාශයට පත්කළේය. එහි විශේෂත්වය වූයේ පසුගිය ආණ්ඩුව සමයේ එම සුඛෝපභෝගී වාහන ගෙන්වන ලද ඇතැම් ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවේද ඇමතිවරුන් වීමය. ”ගරු කතානායකතුමනි, පුදුම සහගත කාරණය වන්නේ මේ වාහන ගෙන්වපු පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු දැන් මේ ආණ්ඩුවේත් ඇමතිවරුවීමයි” ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේය. ”කතානායකතුමනි, මේ වාහන ලැයිස්තුව දැක්කාම මට හිතෙන්නේ වාහන සේල් එකකට ගෙන්වපු වාහන තොගයක් වගේ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය. මේ සමගම වාහන සම්බන්ධව මාධ්‍ය තුළ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති නිර්මාණය වීමට පටන් ගත්තේය. එයින් බරපතල අපහසුතාවයට පත්වූයේ යහපාලන ආණ්ඩුවේද ඇමති ධුර දැරූ වත්මන් ආණ්ඩුවේ සිටින මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා, නිමල් ලන්සා වැනි ඇමතිවරුන්ය. පසුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ ගෙන්වූවා යැයි කියන වාහන තමන් විසින් භාවිතයට නොගන්නා ලද බවයි. මෙය මහත් උභතෝකෝටිකයක් විය. මේ පිළිබඳව ප‍්‍රශ්නය විමසන ලද වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන්ද ඇතැම් මාධ්‍ය විමසා සිටියේ ගෙන්වූ වාහනවලට සිදුවූයේ කුමක්ද යන්නය.

”පහුගිය ආණ්ඩුව ලක්ෂ 28000කට අධික මුදලක් වියදම් කරලා වාහන ගෙන්වලා. නමුත් දැන් ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු කියනවා අපි වාහන පාවිච්චි කළේ නැහැ කියලා. ඒක බරපතල කාරණයක්. ගෙන්වපු වාහනවලට මොකද වුනේ කියලා හොයන්න වෙනවා.” වෛද්‍ය නලින්ද ජයතිස්ස පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන උපදෙසක් ලබා ගැනීමටය. ”දෙපැත්තෙන්ම කන ඇමතිලා ටික තමයි මේ කළබල වෙලා ඉන්නේ. කොහොම වුනත් මේවා ජනතාවගේ බදු මුදල්. ලක්ෂ 28000ක්. අපි සීඅයිඞීයට පැමිණිල්ලක් දාමු වාහනවලට මොකද වුනේ කියලා හොයන්න කියලා. වටගල සහෝදරයා එක්ක නීතිමය තත්වය කතාබහ කරගමු.” විජිත හේරත් කියා සිටියේය. ඒ අනුව වාහන සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කිරීම පෙබ.13වෙනිදා පස්වරුවේදී සිදුකිරීමට කටයුතු සංවිධානය විය.

රාජතාන්ත‍්‍රික දුගී බව ගැන හඳුන්නෙත්ති කතා කරයි

පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයකට එක්විය. එම සංචාරයට සහභාගිවූවන්ගේ ප‍්‍රමාණය පිළිබඳව, සහභාගිවූවන් සංචාරයට කොයිතරම් දුරට අදාලද යන්න ඇතුළු විවිධ අදහස් සමාජ ජාලා තුල කතාබහට ලක්වූවත් සංචාරයේ මුඛ්‍ය අරමුණ පිළිබඳවත් එහිදී රටේ ආර්ථික අර්බුදය පිළිබඳව හෙළිදරව් වූ කරුණු පිළිබඳවත් වැඩි අවධානයක් යොමු නොවීය. පුවත්පතක මාධ්‍යවේදියෙක් මෙම සංචාරය පිළිබඳව අදහසක් දැන ගැනීමේ අරමුණෙන් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. ”මන්ත‍්‍රීතුමා විනාඩියක් කතා කරන්න පුළුවන්ද?” මාධ්‍යවේදියා විමසීය. ”පුළුවන් පුළුවන්.. මම ඉන්නේ මාතර පැත්තේ. මේ දවස්වල ඉතිං ඡුන්දෙට වැඩනේ” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”මන්ත‍්‍රීතුමා අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී අපි ඉන්දියාවට ගෙවන්න තියෙන ණය කපන්න කියලා මෝදිගෙන් ඉල්ලීමක් කරපු බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ ගැන කමෙන්ට් එකක් දෙන්න පුළුවන්ද?” මාධ්‍යවේදියා විමසීය. ”ඇත්තටම එකෙන් කියවෙන්නේ අපේ රටේ ආර්ථික අර්බුදය ගැන. එක පැත්තකින් එහෙම ඉල්ලීමක් කළේ ප‍්‍රසිද්ධියේම නම් ඒකේ රාජතාන්ත‍්‍රික් දුගී බවකුත් තියෙනවා. මොකද මේකෙන් අපේ රට තව තවත් අර්බුදයට යනවා. අපි ණය වෙලා ඉන්නේ ඉන්දියාවට විතරක් නෙවෙයි. මේ ප‍්‍රකාශය සමඟ අපිට ණය දීපු අනෙක් රටවල් කළබල වෙනවා. අපිට ණය ගෙවාගන්න බැරි තත්වයට පත්වෙලා කියලා ඒ රටවල් දැනගත්තාම අපේ රටට මොකද වෙන්නේ. තවදුරටත් ණය දෙන්නෙත් නැතිව යනවා. ණය ගන්න රටවල් ලැයිස්තුවේ පහළට යනවා. මේ රාජතාන්ත‍්‍රික විදියට බේරගන්න  ඕනෑ දේවල්. මාධ්‍යවලට නිවුස් හදන්න ගිහින් තමයි මේ වගේ අමාරුවල වැටෙන්නේ. අපේ පාලකයෝ එක පැත්තකින් රට අගාධයට ඇදල දානවා. ඒකෙන් බේරෙන්න අඩුම තරමේ රාජතානිත‍්‍රික ගනුදෙනුවක් කරගන්න හැකියාවකුත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කර ගෙන ගිය පිරිස බැලූවාම මොන රාජතාන්ත‍්‍රික ගමන්ද මේවා. රටවල් රටවල් අතර මිත‍්‍රශීලි ගනුදෙණු මගින් මේ වගේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්. අපේ රටේ පාලකයෝ එහෙම දැක්මක් තියෙන අය නෙවෙයි. ඇත්තටම ඒක තේරුම් ගන්න  ඕනෑ අපේ රටේ මිනිස්සු” හඳුන්නෙත්ති කියා සිටියේය.

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෙවිලි තහඩු මගඩියක්

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ පාලන බලය ලැබුණේ පොදුජන පෙරමුණටය. එහි සභාපතිවරයා විසින් සෙවිලි තහඩු බෙදාදීමේ ව්‍යාපෘතියකින් රුපියල් මිලියනයකට අධික මුදල් වංචා කර ඇති බවට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් විය. ජවිපෙ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අනුර පනාගොඩට මේ පිළිබඳව තෝරතුරු ලැබී තිබිණි. ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායමත් හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයත් නීතිඥ සුනිල් වටගලත් මැදිහත්වී මෙම පැමිණිල්ල ගොණු කිරීමට කටයුතු කළේය. සිද්ධිය මෙසේය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඩි 10 සෙවිලි තහඩු ලබාදීමේ ව්‍යාපෘතියට සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුකර තිබේ. සභාවේ මුදල් හා ප‍්‍රතිපත්තිකාරක සභාවේදී අනුමත වූ සෙවිලි තහඩු වර්ගය වෙනුවට වෙනත් තහඩු වර්ගයක් මිලදී ගැනීම, සාමාන්‍ය වෙළඳපොල වටිනාකමට වඩා වැඩි මුදලකට සෙවිලි තහඩු මිලදී ගෙන තිබීම, සභාපතිවරයාගේ හිතවතෙකුට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලකින් මිලදී ගැනීම ඇතුළු අක‍්‍රමිකතා රැසක් සභාපතිවරයා සිදුකර තිබේ. එම වෙළඳසැලෙහි සෙවිලි තහඩුවක සාමාන්‍ය විකුණුම් මිල රු.2100ක්ව තිබියදී සභාව විසින් මිලදී ගෙන තිබෙන්නේ රු.2480ක් වැනි මිලකටය. සෙවිලි තහඩු 1040ක් මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමේදී සිදුකර ඇති වංචාව රු. 395,200කි. එමෙන්ම එය අදාල සමාගමේ නියෝජිතයෙකු විසින් ලබාගත්තේ නම් එක් තහඩුවක් රු.1803.75ක මුදලට ලබාගැනීමට හැකිව තිබුණි. ඒ අනුව සිදුකර ඇති වංචාව රු.703,300කි. එමෙන්ම මීට සමගාමීව සිදුකර ඇති වැසිකිළි ආධාර ව්‍යාපෘතියක් සඳහා මිලදී ගැනීම්වලදී ද මුදල් අක‍්‍රමිකතාවයන් සිදුකර ඇති අතර සභාපතිවරයා මෙම ව්‍යාපෘතිවලදී සිදුකර ඇති වංචාව මිලියනයකට අධික බව ගණන් බලා තිබේ.

ඇතැම් පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු

මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70 කි. ඒ අතරින් දේශපාලන පක්ෂ 64ක් සක්‍රීයව කටයුතු කරන අතර තවත් දේශපාලන පක්ෂ හයක් අර්බුදවල පැටලවී සිටියි. අංගිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලිබරල් පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන දේශපාලන පක්ෂ අර්බුදවල පැටලී ඇති අතර ඒවායේ ලේකම්වරුන් පිළිබඳව ගැටලු තිබෙන බවත් ඇතැම් කණ්ඩායම් පක්ෂයෙන් ඉවත්ව එම නාමයම භාවිත කරමින් ස්වාධීනව කටයුතු කරන බවටත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව එම පක්ෂ හය ගැන තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පොහොට්ටුව නාමයෝජනා අවුලක

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා වියත්මඟ සංවිධානය අතර පැවැති නාමයෝජනා ගැටලුව තව තවත් දුරදිග ගොස් තිබේ. වියත්මඟ සංවිධානය මුල සිටම එහි සාමාජිකයින් සිය දෙනෙකුට නාමයෝජනා ඉල්ලූ අතර බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයින් එය ප්‍රතික්ෂේප කර තිබේ. බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ සෑම දිස්ත්‍රික්කයකටම එක් අයෙකුට වන සේ වියත්මඟ සාමාජිකයින්ට නාම යෝජනා ලබාදිය හැකි බවය. එහෙත් එම තීන්දුවට වියත්මඟ සංවිධායකයෝ නොසතුට පළ කරති. මේ අතර වියත්මඟ සංවිධානයට සහාය දැක්වූ උගතුන් පිරිසක් එක්වී නව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. ඔවුහු දේශපාලන පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙති. පක්ෂයේ නම සිංහලදීප ජාතික පෙරමුණය. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බුද්ධික අදිකාරිය. ඔහු සඳහන් කරන්නේ ‘අවුරුදු 43කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට හයෙන් පහක බලයක් ලැබුණා. ඒ වගේම මේ පාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද හැට නව ලක්ෂයක් ලැබුණා. එහෙත් ඒ මත සියලු පක්ෂවලට නාමයෝජනා දීමේ ගැටලු මතු වෙලා. ඇත්තටම උගත් බුද්ධිමතුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අපට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලැබෙන්නෙ නැත්නම් අපි සිංහලදීප ජාතික පෙරමුණ යටතේ තරග කරනවා. මම හිතන්නේ අපට ඡන්ද ලක්ෂ 10ක් තිබෙනවා. කොළඹින් අපට මන්ත්‍රී ආසන කීපයක් ගන්න බාධාවක් නැහැ. මීට අමතරව අපි කොළඹින් පිටත දිස්ත්‍රික්ක කීපයකටත් තරග කරනවා. රටට ආදරය කරන උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කියලා හිතන පතන මිනිස්සු කොටසක් ඉන්නවා. අපි ඉලක්ක කරන්නේ අන්න ඒ ඡන්ද දායකයින් පිරිස’ යැයිද බුද්ධික අදිකාරී කියයි.

රනිල්ගේ සාකච්ඡාවෙන් සජිත් නැගිට යයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඉකුත් සඳුදා සිරිකොතදී පැවැත්විණ. එහිදී බොහෝ වාද විවාද මත ගැටුම් පැවැති අතර මහඡන්දයට තරග කළ යුතු ලාංඡනය සම්බන්ධයෙන් වන ගැටලුව දුරදිග ගියේය. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සුනිල් සිල්වා නැගිට යෝජනාවක් කළේය. ‘මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනේ අලියා ලකුණින්. මේ රටේ මිනිස්සු දන්නේ අලියා. ඒක වැදගත් ලකුණක්’ යැයි සුනිල් සිල්වා යෝජනා කරද්දී ඊට සජිත් හිතවාදීහු විරෝධය පළ කළහ. එහිදී ජෝන් අමරතුංග සඳහන් කළේ ‘රනිල් වික්‍රමසිංහ මැතිතුමයි මමයි සමකාලීනයෝ. අපි දෙන්නම එකම කාලයේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. අලියා ලකුණ තමයි ගමේ ගොඩේ කවුරුත් දන්නේ’ යැයි ජෝන් කී කතාවට රංගෙ බණ්ඩාර ඇතුළු කීප දෙනෙක්ම අගුල්පත් තැබූහ. එහෙත් සජිත් පාර්ශ්වයේ හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඊට විරෝධය දැක්වූහ. ‘අපි අලියගෙන් ඉල්ලනවා නම් මොකටද සන්ධානයක් හැදුවේ.’ හරීන් ප්‍රශ්න කළේය. ‘හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක පරාදයි කියමින් ෆේස්බුක්වල මඩ ගහනවා. එක්සත් ජාතික පක්ෂයට අමාරුම දිස්ත්‍රික්ක තමයි හම්බන්තොට සහ මොනරාගල කියන්නේ. ඔය කයිවාරු ගහන අයට පුළුවන්ද ඔය කියන දිස්ත්‍රික්ක දෙක බාරගෙන දිනවලා පෙන්වන්න’ යැයි හරීන් නෝක්කාඩුවක් කීවේය. ඉන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නාමයෝජනා මණ්ඩලයට ඇතුළත් වන්නන්ගේ නාමලේඛනය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළේය. රනිල් කියූ නම් අතරේ රවි කරුණානායකගේ නමද විය. නාමයෝජනා මණ්ඩලයේ නම් ඇසූ සැණින් සජිත්ට තරමක් කේන්ති ගියේය. ‘මම සන්ධානයේ නායකයා. මම අගමැති අපේක්ෂකයා. මට ඕන විදියට නාමයෝජනා මණ්ඩලය පත්කරගන්න බැරිනම් ඒකෙ තේරුමක් නැහැ.’ යැයි කියමින් සජිත් ප්‍රේමදාස සභාවෙන් නැගිට ගියේය. සජිත් සමඟ තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙක්ද සභාවෙන් නැගිට ගියහ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමවූයේ ඒ ආකාරයෙනි.

මහින්දගෙන් මෝදිට ඉල්ලීමක්

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූයේය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමින් ඉන්දියාවේ සංචාරය කළ අගමැතිවරයා එහි බෞද්ධ සිද්ධස්ථානද වැඳපුදා ගත්තේය. අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අගමැතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කළේය. ඒ ඉන්දියානු ණය ගෙවීම සඳහා සහන කාලයක් ලංකාවට ලබාදෙන ලෙසය. ඊට මෝදිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේය. මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දියාවට ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන 900ක් පමණ වන බවය. එහෙත් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන පන්දහස ඉක්මවන බවය. ඇතැම් විට ඉන්දියාව ණය සඳහා සහන කාලයක් ලබාදුනහොත් ඒ මඟ ගනිමින් චීනයද සහන කාලයක් ලබාදෙන ඇති බවද දේශපාලන විචාරකයෝ පවසති.

Rate this item
(0 votes)