May 20, 2024

කරළියෙන් එහා: බැසිල්ගේ සැලසුම සජිත් අතට ගනී! මහ මැතිවරණය අලුත් අවුරුද්දට පෙර?

February 07, 2020

ඉදිරි මහ මැතිවරණය ගැන දිනෙන් දින කතබහ මතුවෙමින් පවතින අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ නව සන්ධානය ගොඩනැගීම සඳහා මේවන විටත් සාකච්ඡා පවත්වමින් තිබේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකත්වය ගැන දැඩි කතාබහක් ඇතිවෙමින් පැවතීම යන කාරණා නිසා දේශපාලන කරළිය මේ සතියේ උණුසුම් වෙමින් තිබිණි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීමේ කටයුතු ආරම්භ කිරීමට මෙවරත් බැසිල් රාජපක්‍ෂ සූදානම් වී සිටියි. ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ ද ඇමරිකාවේය. මාස දෙකකට පමණ පසුව බැසිල් රාජපක්ෂ පසුගිය සඳුදා දිවයිනට පැමිණියේය. බැසිල් රාජපක්‍ෂ පිළිගැනීමට ප්‍රසන්න රණතුංග, ලක්‍ෂ්මන් යාපා, නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සන්ධානයක් ගොඩනැගීමේ මූලික එකඟතාවයක් ඇති වී තිබේ. බිහිවීමට නියමිත නව සන්ධානයේ මහ ලේකම් ධුරය බැසිල් රාජපක්‍ෂ අපේක්‍ෂාවෙන් සිටින බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ගොඩනැගෙන නව සන්ධානයේ සම නායකයන් ලෙස මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමේ යෝජනාවක් ද දේශපාලන කරළියට පසුගියදා පැමිණ තිබිණ. එහෙත් එම සන්ධානයේ සම නායකත්වයක් මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමේ අදහසක් නැතැයි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මීට පෙර යෝජනා වී තිබුණේ නව සන්ධානය ගොඩනැගුණු පසුව සියයට 57ක් පොහොට්ටුවටත් සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් ඉතිරි කොටස අනෙකුත් සුළු පක්‍ෂවලටත් ලබාදීමට දැනටමත් එකඟතාවයක් ඇතිකරගෙන ඇතැයි වාර්තාවේ. 

ආණ්ඩුකාරවරු තිදෙනෙකු ගැන මහින්දට පැමිණිලි

නව රජය යටතේ පත්වීම් ලද ආණ්ඩුකාරවරුන් තිදෙනකු ගැන පළාත් සභාවල හිටපු මන්ත්‍රීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. මන්ත්‍රීන්ට හමුවීමට අවස්ථාවක් ලබා නොදීම, රාජකාරිමය වශයෙන් තීරණ ගැනීමේදී පළාත් සභාවල සාමාජිකයන්ගේ අදහස්වලට කන් නොදීම ආදී කාරණා ගණනාවක් මෙම පැමිණිලිවල සඳහන්ය. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනමින් පළාත් සභා පිහිටුවා පළාත් ආණ්ඩු සක්‍රීය කරන මෙන්ද ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. හිටපු පළාත් සභා මන්ත්‍රීන් මෙම දුක්ගැනවිල්ල අගමැතිවරයාට ඉදිරිපත් කළේ පසුගිය බදාදා ඔවුන් හා අගමැතිවරයා අතර පැවති සුහද හමුවකදීය. ඒ අවස්ථාවේම අදාළ ආණ්ඩුකාරවරුන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා පළාත් සභා නියෝජිතයන් සමඟ සුහද සබඳතා පවත්වාගෙන යමින් අවශ්‍ය සහය ලබා දෙන්නැයි දැනුම් දුන්නේය.

මහින්ද 10ක දූත පිරිසක් එක්ක ඉන්දියාවට

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඉන්දියාවේ සංචාරයක් සඳහා අද(07) කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. ඒ මහතා සමඟ දූත පිරිස ලෙස 10 දෙනෙක් පමණ එක් වී සිටියහ. ඔවුහු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන්  නවදිල්ලි නුවර බලා  පිටත්ව ගියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය. ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සන්ජේ දෝත්‍රා ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට කටයුතු කළේය.

ඉන්දීය සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තිරුපති කෝවිලේ පූජාවකටද සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පත්කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බවයි.

“එයට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව හා සම්බන්ධව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වෙනවා.“ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීම සහ එයාබස් මිලදී ගැනීමේ  ගණුදෙනු අවසන් කිරීමේ ගිවිසුම් පිළිබඳ කෝප් කමිටුව විසින් සකසන ලද වාර්තා දෙකක් මීට පෙර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ. මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු ඊට අදාල ජනාධිපති කොමිස‍මේ වාර්තාවෙන් සහ වෝහාරික විගණන වාර්තාවේ කරුණු වලින් සනාථ වන බව සිය මතය බවද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එකඟත්වය මත පසුගිය කාලවකවානුව තුළ අනුගමනය කළ සම්ප්‍රදායක් වන කොප් කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍යවරයෙකුට අදාල ආයතනයක් ‍කමිටුව ඉදිරියට කැඳවීමේදී අදාල විෂය භාර අමාත්‍යවරයා එම කමිටු සැසිවාරයට සම්බන්ධ නොවිමේ සම්ප්‍රදාය ඉදිරියටත් රැක ගැනීම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

නව සන්ධානයට රනිල්ගෙන් බාල්දියක්

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය බදාදා පෙරවරුවේ රැස්වූයේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම කාණ්ඩායම රැස්වූයේ පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. මුල් ආසන පෙළියේ රනිල්, සජිත්ට අමතරව විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ද අසුන්ගෙන සිටියහ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ යෝජනාවක් ඉදිරිපත් කළේ රංජිත් මද්දුම බණ්ඩාර එජාප සන්ධානයේ නව මහ ලේකම් ධුරයට පත් කිරීමටය. එම යෝජනාව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ස්ථිර කළේය. මුළු පාර්ලිමේන්තු කණ්ඩායමේම එකඟතාව ඊට ලැබිණ. කිසිවෙකුත් විරෝධතාවයක් දැක්වූයේ නැත. ඉන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නව මහ ලේකම්තුමාට හෙඞ් ටේබල් එකට එන්න යැයි ආරාධනා කළේය. ඉන්පසුව රංජිත් මද්දුම බණ්ඩාර පැමිණ මුල් පේලියේ අසුන් ගත්තේය. ඒ සමගම රැස්වීම නිමාවූ අතර සජිත් හිතවාදීහු නව මහ ලේකම්වරයාට සුබ පැතූහ.

මේ අතර රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ප්‍රකාශ කර ඇත්තේ සන්ධානයේ නව ලේකම්වරයා පත්කිරීමේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත කර ගත යුතු බවකි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වීමට නියමිතව තිබුණ ද එය ලබන සඳුදා තෙක් කල්ගොස් ඇත්තේ සජිත් පිළේ ඉල්ලීමකට යැයි ද වාර්තා වේ. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනගනවා. ඒකේ නම සහ ඡන්ද ලංජනය කුමක්දැයි තවම තහවුරු කරලා නැහැ. සමහරවිට අලියා හෝ හංසයා හෝ නොවෙන්නට පුළුවන් ඉන් එකක් වෙන්නත් පුළුවන්. නව සන්ධානයේ නායකත්වය මෙන්ම මහ ලේකම් ධුරයත් එජාපයට දෙන්න ඕනේ යැයි ප්‍රගතිශීලී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේය.

කොළඹට එජාපයෙන් තරුණ නීතිඥයෙක්

මේ අතර විද්වතුන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සමාජයේ මතයක් ගොඩනැගෙමින් පවතින අතරතුර පොහොට්ටුවෙන් වියත්මගේ පිරිසක් ඒ සඳහා මේවන විටත් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටියි. පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ආයතන ප්‍රධානීන්ද සිය මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට යෝජනා වී තිබේ. ඒ අතර කැපී පෙනන තරුණයින්ගේ ප්‍රසාදය දිනා ගත් චරිතයක් වූ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේටද ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ඔහු මේවන විට එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරයි. එරන්ද වැලිඅංගේටද හෝමාගම ආසනය මූලික කරගෙන සිය මැතිවරණය මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තාවේ.

ජනපති නිදහස් උත්සවයේ වියදම් කපා හරී

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 72කි. මෙවර නිදහස් උත්සවය කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී   චාම් හා ගරුගාම්භීර අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උත්සවයේ වියදම් කපාහැර තිබූ අතර ඒනිසා ඇතැම් සංදර්ශන අංග ද සීමාකර තිබිණ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් උත්සවයේ කැපී පෙනෙන විශේෂාංග කිහිපයක්ම වූයේය. නිදහස් උත්සවය සඳහා ජනාධිපතිවරයා පැමිණෙන්නේ අශ්වාරෝහකයන් රථ පෙරටු කොට ගෙන වුවද මෙවර එම අංගය ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉවත් කර තිබිණි. චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයා පිළිගනු ලබන්නේ අගමැතිවරයා විසිනි. එහෙත් මෙවර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් වීම විශේෂත්වයකි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මුලින්ම උත්සව සභාවට පැමිණ ඉන්පසුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා සිදුකෙරේ. ඉන්පසුව එම ඇමතිවරයා විසින් ඉන් ඉහළ කැබිනට් ඇමතිවරුන් පිළිගනු ලැබෙතත් මෙවර සියලු මැති ඇමතිවරුන් ද හිටපු ජනාධිපතිනිය මෙන්ම අගමැතිවරයා පිළිගනු ලැබුවේ ද ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් විසින්ය. හමුදා ප්‍රධානීන් පිළිගැනීම හමුදාවල ඉහළ නිලධාරීහු සිදු කළහ. මෙවර නිදහස් සැමරුම් උත්සවයට රටේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිපදෙනෙකු සහභාගි නොවූහ. ඒ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ය. මේ තිදෙනාගේ නොපැමිණීම පිළිබඳව විවිධ ආරංචි පැතිර ගියේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයකුව සිටි කාලය තුළ කිසිදා නිදහස් උත්සවයකට සහභාගි වී නැහැ. එතුමා පළමුවරට සහභාගි වූයේ 2015 නිදහස් දින උත්සවයට. ඒ රටේ ජනාධිපතිවරයා ලෙස. රටේ ජනාධිපතිවරයා ලෙස මිස වෙනත් ආකාරයකින් නිදහස් දින උත්සවයකට සහභාගි නොවන බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ වසර ගණනාවක් මේ උත්සවයට සහභාගි වූයේ අගමැතිවරයා ලෙස එසේත් නැත්නම් විපක්‍ෂනායකවරයා ලෙසයි. අගමැතිට විපක්‍ෂනායකට ඉදිරි පෙළ අසුන් පනවනවා. පක්‍ෂනායකයන්ට ඉදිරිපෙළ අසුන් නැහැ. යම් හෙයකින් එතුමා පැමිණියේ නම් වාඩිවීමට සිදු වන්නේ උත්සව සභාවේ පසුපෙළ ආසනයකයි“ දේශපාලන විවාරකයන් පවසති. මීට අමතරව ආර්. සම්පන්දන්ට නොපැමිණීමට හේතුවක් වී ඇතැයි පැවසෙන්නේ මෙවර නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම බව ද වාර්තා වේ. ෆීල්ඞ් මාර්ෂල් ලෙස සරත් ෆොන්සේකා ඉකුත් වසර කීපයේ දී නිල ඇඳුමින් නිදහස් උත්සවයට පැමිණියේය. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයන් සමග පවතින එදිරිවාදිකම් හේතුකොට ගෙන සරත් ෆොන්සේකා නිදහස් උත්සවයට නොපැමිණෙන්නට ඇතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින වසර 62ක සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කිරීමක් ලෙස රුසියාවේ ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී පසුගියදා සඳුදා දිවයිනට පැමිණියේය. රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් වසර 45ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 9කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක් හා ඔලෙග් සල්යුකොව් මහත්මිය ද සහභාගි වී සිටියාය. පස්දින නිල සංචාරයේ දී රුසියානු හමුදා නායකයා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් ද හමුවීමට සැලසුම් කර තිබිණි. මේ අතර රුසියානු හමුදා නායකයා පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ද සහභාගි වූයේය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම අවුලක

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේ ගැටලු මතුව ඇති අතර තවමත් ප්‍රධානීන් පත්කර නැති රාජ්‍ය ආයතන තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත්දා එම සංස්ථාවේ සේවය කළ නිෂ්පාදකයකු පත් කළ ද දින පහක් යන්නටත් පෙර ඔහුව ඉවත් කිරීමට රජය කටයුතු කළේය. අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම මත සභාපතිවරයා ඉල්ලා අස්වූ අතර තවමත් ගුවන්විදුලියට සභාපතිවරයෙක් පත්කර නැත. ඉල්ලා අස්වූ සභාපතිවරයා වැඩ බාරගැනීමට සංස්ථාවට ආ අවස්ථාවේ සේවකයන් අමතා කරන ලද කතාවේ දී ආන්දෝලනාත්මක දේ ප්‍රකාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වූයේය. ගුවන්විදුලියේ සේවකයන්ම ඔහුගේ ආන්දෝලනාත්මක කතාව පටිගතකර සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ. කතාව අතරතුර තමාට අත්පොළොසන් දෙන්නැයි ද ඔහු සේවකයන්ට පවසන අවස්ථා ද එම කතාව අසන අතරතුරේ දැක ගත හැකිය. වෘත්තීය සමිති නායකයෙකුගේ ඉල්ලීම පරිදී ඔහු පත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා පවා නොදන්නා බවක් ද දැන් දැන් ප්‍රචාරය වෙමින් තිබේ.

පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමේ යෝජනාවක් ද මේ වනවිට නැවත කරළියට පැමිණ තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුණේ මාර්තු මස දෙවැනිදාය. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ එකඟතාවය මත තුනෙන් දෙකක බහුතර කැමැත්තකින් පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරිය හැකිය. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් මහ ඡන්දයකට යෑමටය. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහාය ලබා දුනහොත් මහ මැතිවරණය අලුත් අවුරුද්දට පෙර පැවැත්විය හැකි වනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නාමයෝජනා නිසා පොහොට්ටුවේ අර්බුදයක්

මහා මැතිවරණයේ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් මතුවී තිබේ. වියත්මග සංවිධානයේ අදහස වී ඇත්තේ උගත් බුද්ධිමත් පිරිසකට නාමයෝජනා ලබාදීමය. එම පිරිස අලුත් කණ්ඩායමක් විය යුතු බව ද අඩුම තරමින් වියත් මගින් 100 දෙනෙකුවත් නාමයෝජනා දිය යුතු යැයි ද වියත්මග සංවිධානය ප්‍රකාශ කර තිබේ. එහෙත් ඊට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ විරෝධය දක්වති. පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සංධානයේ මහ ලේකම් ධුරයට නම්කර සිටින බැසිල් රාජපක්‍ෂට සිදුව ඇත්තේ මේ අර්බුදයට විසඳුමක් ලබාදීමටය. දෙපාර්ශ්වයටම සතුටුවිය හැකි විසඳුමක් ලබාදිය යුතු බව ද බැසිල් ප්‍රකාශ කර තිබේ. මේ අතර වියත්මගට සම්බන්ධව සිටින භික්‍ෂුන්වහන්සේ නමක් ද නාමයෝජනා ලැබීමට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ. එම ප්‍රකාශයට කැස්බෑවේ දේශපාලනඥයෙක් විරෝධය දැක්වූ බවට ද ආරංචි පැතිර ගියේය.

‘දැන් බලන්න අහවල් දිස්ත්‍රික්කයෙන් අපට ආසන 7ක් දිනාගන්න පුළුවන්. ඒ හතට අහවල් දේශපාලනඥයන් දෙන්නත් අයිති වෙනවා. අපි ඔවුන්ට නාමයෝජනා නොදුන්නොත් අපේ දෙන්නෙක්ම ඇතුළට ගන්න පුළුවන්’ යැයි වියත් මගේ කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

සජිත් බැසිල්ගේ අඩිපාරේ යයි

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් පිල මේ වනවිට මහ මැතිවරණයට තරග කිරීම සඳහා නව පක්‍ෂයක් තෝරාගෙන තිබේ. තෝරාගෙන ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව් ලියාපදිංචි එහෙත් දැනට තරගයට නොඑන පක්‍ෂයකි. එම පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාරාගේ නම මැතිවරණ කොමිසමට යැවීමටත් කොමිසම එය පිළිගත් පසුව අනෙකුත් නිලධාරි මණ්ඩලය ලෙස සජිත් පිලේ පිරිසක් නම් කිරීමටත් මේ වනවිට සැලසුමක් පවතියි. එසේ වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වන අතර වැඩි පිරිසක් සජිත්ගේ නව දේශපාලන පක්‍ෂයට එක්වනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත් තවත් පිරිසක් එජාපයේ නතර වන බව ද එම පක්‍ෂ ආරංචිමාර් පවසයි. සජිත්ගේ පක්‍ෂය හදන්න යන්නෙත් බැසිල් හැදුව වගේ. බැසිලුත් වෙනත් පක්‍ෂයක් අරගෙන නිලධාරී මණ්ඩලය වෙනස් කළා. අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වුණා. ඒ වගේම දෙයක් එජාපයටත් වෙන්න ඉඩ තිබෙනවා යැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ප්‍රකාශ කර තිබේ.

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද අර්බුදයක් හටගෙන ඇත්තේ වෝහාරික විගණන වාර්තාව මුල්කර ගනිමිනි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනකුගේ ධුර කාලවල දී බැඳුම්කර වංචා සිදුව ඇති බවය. ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවන්ට හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ පොදුජන පෙරමුණේ දේශපාලනඥයෝ පිළිතුරු බඳිමින් සිටිති. බැඳුම්කර වංචා සම්බන්ධයන් මහ මැතිවරණ වේදිකාවේ නොයෙකුත් වාද විවාද ඇතිවනු ඇති අතර එය ඉදිරියේ දී දැක බලා ගැනීමේ හැකියාව ජනතාවට හිමිවනු ඇත.

බැඳුම්කර හොරකමට කබ්රාල්ගේ ලඟම ඥාතියෙක් ඉඳලා

මේ අතර බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේය. මෙහිදී අදහස් දක්වමින් කබ්රාල් මහතා කියා සිටියේ, තම ඥාතීන් අතුරින් කිසිවකුත් මෙයට සම්බන්ධයක් නොමැති බවත්, සම්බන්ධයක් තිබෙන එකම ඥාතියා රනිල් වික්‍රමසිංහ බවත්ය. මෙහිදී සිය ඥාතීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය. “වෝහාරික විගණන වාර්තාවේ කියනවා, මගේ පවුලේ අය හිටියා කියලා වෙනම තැන්වල. මම මේ ගැන ඩිව් ගුණසේකර මැතිතුමාගේ, කෝප් කමිටුවට ගිහිල්ලා මගේ පවුලේ අය ඔක්කෝමලා ගැන කිව්වා. මට මතකයි එතනදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ මේ අය මගේ පවුලේ ඉන්න අය. මම බොහොම පැහැදිලිව කිව්වා. ඒ ඉන්න අය මොන තනතුරු දරනවාද, ඒ අය ඒ තනතුරුවලට පත්වුණේ කොහොමද කියලාත්, මම පෙන්නලා දුන්නා. මගේ මහ බැංකු අධිපතිධූරය නිසා නෙමෙයි, ඒ එක්කෙනක්වත් ඒ තනතුරුවලට පත්වෙලා තියෙන්නේ.” නිහාල් ෆොන්සේකා – එයා බැංකු ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෙක්. එයා HSBC බැංකුවේ ඉතාමත් ඉහළ තනතුරක් දරලා තිබුණේ, මම මහ බැංකු අධිපති වෙන්නවත් හිතලාවත් නැති කාලෙක. ඊට පස්සේ එයා DFCC බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ වෙලා හිටියා. ඒත් මම එන්න කලිං. අමල් කබ්රාල් – එයා හැටන් නැෂනල් බැංකුවේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් කියලා තමයි චෝදනා කරන්නේ. එයා හැටන් නැෂනල් බැංකුවට එන්න කලිං, යුනිලිවර් එකේ සභාපති. ෂිබානි තම්බයියා – එයා රේණුකා හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ. එයා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. සුනිල් විජේසිංහ – මගේ නෝනාගේ අයියා. එයා NDB සභාපති කියලා තමයි කිව්වේ. ඊට කලින් එයා දංකොටුව පෝසිලේන් සභාපති. ඊට කලින් වටවල ප්ලානේටේෂන් සභාපති. මේ පත්කරලා තියෙන්නේ මම නෙමෙයි. රනෙල් විජේසිංහ – එයා කළමනාකරණ උපදේශකවරයෙක්. එයා වරලත් ගණකාරධිකාරී ආයතනයේ හිටපු සභාපති. එයා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ කියන එක තමයි මට තියෙන චෝදනාව. ධාරා විජේතිලක – මගේ නෝනාගේ අක්කා. එයා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්. ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ජනරාල්. එයා සම්පත් බැංකුවේ හිටියා කියලා තමයි මේ චෝදනාව මට ගේන්නේ. චතුර කබ්රාල් – මගේ පුතා. එයා ඉංජිනේරුවෙක්. එයා බැංකු ක්ෂේත්‍රයේ කිසිම තැනක නැහැ. චෝදනාව තමයි, වැලිබල් පවර් එකේ සහ ෆෝට්රස් එකේ එයා අධ්‍යක්ෂ මණ්ඩලේ හිටියා කියලා. ඒක සම්බන්ධ කරනවා, ධම්මික පෙරේරාත් එක්ක, වෝහාරික විගණනයේ දී. ධම්මික පෙරේරා ගේ වැලිබල් ෆිනෑන්ස් එකේ ඕපනිං එකට මම ගියා කියලා ප්‍රධාන අමුත්තා හැටියට. එතටෙකාට කියනවා ධම්මික පෙරේරා මහත්තයාගේ කිංග්ස්බරි එක ඕපන් කරද්දී, ඒකට මම ගියාලු ප්‍රධාන අමුත්තා හැටියට. එකේ ප්‍රධාන අමුත්තා වුණේ එවකට හිටපු ජනාධිපතිතුමා, මම නොවෙයි. මම ගියේ සහභාගී වීමට. ශිරෝමි වික්‍රමසිංහ – මගේ සහෝදරිය. එයා පර්පෙචුවල් කැපිටල් හෝලිංඩිග්ස් එකේ හිටියා කියලා තමයි චෝදනාව තියෙන්නේ. එයා ඒ ආයතනයේ ඉන්න කොට එක සතයක්වත් අරන් නැහැ. එයා මේ මගඩිය ගැන අහගත්ත පළවෙනි දවසෙම 2015 මාර්තු මාසේ 08 වෙනිදා එයා ඉල්ලා අස්වුණා හෝල්ඩිංග්ස් කම්පැනි එකෙන්. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් එකේ එයා හිටියේ නැහැ. රෝෂණී කබ්රාල් – මගේ බිරිඳ. එයා හිටියේ ලංකා හොස්ලිට්ල් එකේ නියෝජ්‍ය සභාපති විදියට. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. එයාවත් මේකට සම්බන්ධ කරලා දාලා තියෙනවා. රවී තම්බයියා – එයා DFCC බැංකුවේ හිටිය අධ්‍යක්ෂ කෙනෙක්. එයා රේණුකා හෝටල් සමූහයේ සභාපති. ඒක ලංකාවේ ලොකුම සමූහ සමාගමක්. “මගේ පවුලේ අය ගැන මට විශ්වාසයි. මේ වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනවා, පවුලේ අය සිටින බවට කිසිම සාක්ෂියක් නැහැ කියලා. මගේ පවුලේ අය වෘත්තීයමය අය. ඒ අය එසේ මෙසේ අයත් නෙමෙයි. ඒ ගැන කතා කරලා නැහැ මෙච්චර කල්. නමුත් දැන් කතා කරන්න සිදුවෙනවා.” “මගේ පියා දොස්තර කෙනෙක්. වෛද්‍ය ලෙස්ලි කබ්රාල්. මගේ පියාගේ තාත්තා තමයි විල්ෆ්‍රඩ් ඇලෝෂියස් කබ්රාල්, මේ ලංකාවේ හිටපු පළවෙනි පෝස්ට් මාස්ටර් ජෙනරල්, ලාංකිකයෙක් හැටියට හිටිය. මගේ පියාගේ සහෝදරයා තමයි වෛද්‍ය ෂෙල්ටන් කබ්රාල්. ලංකාවේ හිටපු පළවෙනි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා.” “මේ බැඳුම්කරේට සම්බන්ධ එකම එක්කෙනෙක් ඉන්නවා, මේ බැඳුම්කරේට නෑකමක් තියෙන. ඒ ගැනත් මට කියන්නට ඕනේ. ඒ තමයි මගේ මාමණ්ඩිගේ මල්ලී බැඳලා ඉන්න පුද්ගලයාගේ තාත්තාගේ නංගි තමයි ඒ පුද්ගලයා. කවුද ඒ පුද්ගලයා. රනිල් වික්‍රමසිංහ. මගේ uncle in law මිස්ටර් සෑම් විජේසිංහ. එයා විවාහ වෙලා ඉන්නේ, රනිල්ගේ පියාගේ සහෝදරිය. ඒ සමබන්ධෙ නම් තියෙනවා. මම ඒ ගැන අද හෙළිදරව් කරනවා. අනිත් අය ගැන මම බොහොම උජාරුවෙන් කිව්වට, මේ සම්බන්ධය ගැන කියන්න ලැජ්ජයි.”

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 07 February 2020 20:47