May 20, 2024

කරළියෙන් එහා: එජාපය එපා වූ සජිත් පිල අලුත් සන්ධානයෙන් මැතිවරණයට! හිරුණිකා හඩපට ගැන කතා කරයි

රන්ජන්ගේ හඬපට හුටපටයෙන් දේශපාලන කරළිය දෙදරා ගොස් ඇති අතර මුළු රටම දෑස් දල්වා බලා සිටියේ ඊලඟ හඬපටය කාගේද යන්න කුතුහලයෙනි. මේ සිද්ධියෙන් පසු දේශපාලනඥයින්, නිලියන්, විනිසුරුවරුන් ඇතුළු ඉහල පෙලේ පුද්ගලයින් රැසකට සමාජයට මුහුණ දිය නොහැකි තත්ත්වයකට පත් ව තිබේ. ඔවුන්ට සමාජයේ අවමානයට මුහුණ දීමට සිදු විය. මේ අතර හඬපට හුටපටයට මුහුණ දුන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය හඬපට ගැන විග්‍රහයක් ගෙන එමින් ආණ්ඩුවට දොස් නගමින් සිය සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කළේය. එහිදී මන්ත්‍රීවරිය කියා සිටියේ තමාගේ යැයි පැවැසෙන හඬ පට දෙනෙක් දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් බවයි. ඉන් ඇය එක් අතකින් හඬපටය ඇත්තක් බව පිළිගනිමින් අසභ්‍ය කතා සහිත හඬපටය ප්‍රතික්ෂේප කර තිබේ.

“මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක් එළියට ඇවිත් තිබෙනවා. පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු  හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා. මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න” යැයි මන්ත්‍රීවරිය අභියෝගයක්ද එල්ල කළේය.

මේ අතර පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හඬපට සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබිණි. ඇමැතිවරුන් පෙන්වා දුන්නේ මෙම හඬ පට හා ඒවායින් සමාජයට සිදුකර ඇති අවමානය සුළුපටු නොවන බවය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බව ද ඇමැතිවරු ප්‍රකාශ කර තිබේ.  විශේෂයෙන් කැබිනට් ඇමැතිවරුන්ගේ අවධානය යොමුවූයේ අධිකරණ පද්ධතියට එමගින් සිදුව ඇති හානිය පිළිබඳවය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනට් රැස්වීම පැවැත්වෙද්දීම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්හ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දීමේ ප්‍රවෘත්තිය ජනමාධ්‍ය හරහා විකාශනය වෙද්දී මාදිවෙල මන්ත්‍රී නිල නිවසෙහි සිටි රන්ජන් රාමනායක තරමක් කලබලයට පත්වූයේය. ඔහු මන්ත්‍රී නිවාසයේ ඉහළ මාලයට ගොස් විවිධ සංදර්ශන කරමින් සිය සහායකයා ලවා වීඩියෝ ගත කළේය. එපමණකින් නොනැවතුණු මන්ත්‍රීවරයා ඔහුගේ මුහුණු පොතෙන් එම සිදුවීම නාට්‍යයක් මෙන් විකාශය කළේය. නමුත් පසුගිය වතාවට වඩා මෙවර පොලිස් නිලධාරීහු පරෙස්සම් වූහ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිප වැළඳ ගැනීමට හෝ වෙනත් ප්‍රකාශ කිරීමට හෝ මන්ත්‍රීවරයාට ඉඩ ලැබුණේ නැත. එපමණකින් නොනැවතුන පොලිසිය මන්ත්‍රීවරයාගේ නිල නිවසට ඇතුළු වීමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදුන්නේ නැත. ඒ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කිසියම් ප්‍රකාශයක් කළහොත් නැත්නම් යම් සංදර්ශනයක් දැම්මොත් එය මාධ්‍ය ප්‍රචාරය වීම වැළැක්වීමටය. මීට ඉහත රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරියකු සිප වැළඳ ගැනීම නිසා එම නිලධාරියාට නීති ගැටලුවලට මුහුණ පෑමට ද සිදුවූයේය. පසුගිය සඳුදා එවැන්නක් සිදුවූයේ නැත.

සජිත් පිල එජාපයෙන් වෙන්වෙයි

එජාපයේ දෙදරයාම ඊයේ සිදුවේය යන්න කාගේත් අවධානය යොමු වුවද එය කලමනාකරණය කරගනිමින් කල් මැරීමේ එජාප නායක රනිල්ගේ ප්‍රතිපත්තියට අනුව එජාප නායකත්වය ඇතුළු ගැටලු විසඳීම ලබන සතියට කල් ගියේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ සවස සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරු 5ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. නායකත්ව මණ්ඩලයක් පිළිබඳව මෙහිදී මන්ත්‍රී පිරිසක් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී පිරිසක් ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. පැය කීපයක් වාද විවාද කෙරෙමින් මන්ත්‍රී කණ්ඩායමේ අවසන් එකඟතාවක් නොමැති වූ බැවින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ නිල කාමරයට ගොස් තිබේ. පසුව මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වය පිළිබඳ මත විමසුම පවත්වා ඇත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වාද විවාද මැද පැය පහක් පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. සිරිකොත තුළ ගාලගෝට්ටියක් ඇතිව තිබුණේ මේ හේතුවෙනි. එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. එම කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම කැමැත්ත පළ කිරීම සිදුවී ඇත්තේ මන්ත්‍රී කණ්ඩායමේ මත විමසුමක් ලෙසය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කරන බවත් ඉදිරි දින කීපයේදී මේ තීරණය පිළිබඳ සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර අගමැති අපේක්ෂක ලෙස ද ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට කටයුතු කරන බවත් එම මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ. බහුතර මතයට ගරු කර ව්‍යවස්ථානුකූලව අවශ්‍ය කටයුතු කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂ සම්මේලනය කැඳවන ලෙසද ඉල්ලා තිබේ. පක්ෂයේ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරි කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවත්, කරු ජයසූරිය මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය ඇතිව සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වයන් ඉදිරි මැතිවරණයට තරග කරන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ  නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා මත විමසුමක් තබන ලෙස ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂ නායකත්වය සඳහා යෝජනා කරන ලද බවය. තමා ඒ යෝජනාව ස්ථිර කළ බවත්, ඒ අනුව අද (17) සිට ඉදිරි සංධානයේ වැඩකටයුතු අරඹන බවත් හරීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. පක්ෂය කුමන තීරණයක් ගන්නවාද කියන කාරණයට වඩා බහුතර මතය අනුව සජිත් ප්‍රේමදාස පක්ෂ නායක ලෙසත්, ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂක සහ පක්ෂයේ නායක ලෙසත් පත් කර ගැනීමට යෝජනා වූ බවත්, ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව ඉදිරියට යන්නට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. පක්ෂ නායකත්වය තෝරා පත් කර ගැනීමේ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ, එකඟතාවයකින් තොරව රැස්වීම අවසන් වූ අතර, අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන සඳුදා හෝ අඟහරුවාදා නැවත වරක් හමුවක් කැඳවීමට තීරණය වූ බවය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන් එලෙස හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමට යෝජනා වූ බව ද පක්ෂ මහා ලේකම්වරයා සඳහන් කළේය. පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළැයි කියන කතාව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කී මහා ලේකම්වරයා, අදාළ තීරණය ගන්නා අවස්ථාවේ පක්ෂ නායක හෝ මහ ලේකම් හෝ වගකිවයුතු තනතුරක් දරන කෙනකු එහි නොසිටි බව ද සඳහන් කළේය. එවැනි මත විමසුමක් සඳහා මන්ත්‍රී කණ්ඩායමේ සූදානමක් නොතිබූ බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් මෙදින රැස්වීමට නොපැමිණි බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කොට පක්ෂ නායකයා නිල කාමරයෙන්ද පිටව ගිය පසු අදාළ මත විමසුම කර ඇති බව දැනගන්නට තිබෙන බවද, පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 

මෛත්‍රීගෙන් ශ්‍රීලනිපයට සුද්දයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට  පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කළේය. පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල වැඩබලන ආසන සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට පියවර ගෙන ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මිය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාවද වේ.

මේ අතර ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටත් තුනෙන් දෙකක බහුතර බලයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශක්තිය ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.

ග්‍රාම නිලධාරීන් ගැන හොයන්න බුද්ධි අංශ වැඩ බසී

දිළිඳුම පවුල්වල පිරිස්වලට නව රැකියා ලක්‍ෂයක් සැපයීමේ වැඩසටහනේ දී සහ දිළිඳු පවුල්වලට ආහාර සහන මිලට සැපයීම සඳහා නිර්දේශ ලබාදීමේ දී ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර ඇතැයි වාර්තා වේ. රැකියා සැපයීමේ වැඩසටහනේ දී හා සහනදායී මිලට දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ දී කාඩ්පත් ලබාදීමේ දී ඒ සඳහා වන ප්‍රධාන නිර්දේශය ලබාදිය යුත්තේ ග්‍රාමසේවා නිලධාරීවරයා ය. දිළිඳු ජනයා වෙසෙන පවුල්වල ආදායම් තත්ත්වය පිළිබඳ විධිමත් සහ නිවැරදි සහතිකයක් නිකුත් කරන ලෙස ග්‍රාමසේවා නිලධාරීන්ට රජය දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් උපදෙස් දී ඇත. එසේ තිබියදීත් පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් හෝ වෙනත් හේතු මත අදාළ සහන ලැබිය යුතු අයට සහතික නිකුත් නොකරන ග්‍රාමසේවා නිලධාරීන් ගැන සොයාබලා නිසි පියවර ගැනීමට බුද්ධි අංශයේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් ලබාගන්නා බව කියැවේ.

ලකුණට ගැටුමක්

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම මේ වනවිට ඉදිරි මහා මැතිවරණයට මුහුණදීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ. කල්සිටම කියූ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට නියමිතය. එහෙත් පක්ෂ දෙකේ නායකයෝ මත ගැටුමක හිරවී ඇත්තේ පක්ෂ ලාංඡනය සම්බන්ධයෙනි. පක්ෂ දෙක අතර ගිවිසුමට අනුව ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ පුටුවෙන් හෝ බුලත් කොළයෙනි. එහෙත් පොදුජන පෙරමුණ ඊට එකතු නොවෙන තත්ත්වයකට පත්ව ඇත. “දැන් ජනතාවට පොහොට්ටුව හොඳට පුරුදුයි. ඡන්ද දෙකක්ම අපි ඉහළින් ජයග්‍රහණය කළා. වෙනත් ලකුණු අවශ්‍ය නැහැ යැයි පොහොට්ටුවේ නායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට එකඟතාව දක්වන්නේ නැත. මහලේකම් දයාසිරි ජයසේකරගේ අදහස පොහොට්ටුවෙන් තරග නොකිරීමටය. ඔහු ඊට එරෙහිව යම් යම් දේ ප්‍රකාශ කරමින් සිටින්නේය. දයාසිරි මහ ලේකම්වරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ ලකුණ කුමක් වුවත් ඉදිරි මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බහුතර බලයක් ඇති ආණ්ඩුවක් ගොඩගැනීමට ශ්‍රීලනිපය සහය දෙන බවයි. එනිසා ලකුණකට හිර නොවී රට ගැන සිතා කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් අවසානයේදී “පොහොට්ටුව” මහා මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද ඊට එරෙහිවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

 ට්‍රම්ප්ගෙන් ගෝඨාට විශේෂ ලිපියක්

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ඉකුත්දා දිවයිනට පැමිණියාය. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා ද වන ඇලිස් ජී. වෙල්ස් දිවයිනට පැමිණියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විශේෂ ලිපියක් ද රැගෙනය. ඇලිස් වෙල්ස් එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට බාර දුන්නාය. ඉන්දු පැසිපික් කලාපයේ සාධනීය පාර්ශ්වකරුවකු වන්නැයි එම ලිපියෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝඨාභයගෙන් ඉල්ලීමක් කර තිබිණ.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සඳහා අගමැති මහින්ද රාජපක්‍ෂ ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය. මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉන්දීය සංචාරයකට එක්වූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ද විශේෂ ආරාධනාවක් එවා තිබිණ. ඒ අනුව පෙබරවාරි මාසයේ මැද භාගයේ පමණ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. චීන විදේශ ඇමැතිවරයා ද ඉකුත්දා ලංකාවට පැමිණියේය. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික හා සමාජ සබඳතා වැඩිදියුණු කිරීම එම සංචාරයේ අරමුණ වී තිබිණ. එහිදී චීන විදේශ ඇමැතිවරයා අගමැති මහින්දට විශේෂ යමක් පෙන්වා දුන්නේය. “දැන් බලන්න චීන ජාතිකයන් මිලියන 170ක් අවුරුද්දකට ලෝකයේ රටරටවල සංචාරය කරනවා. ඒ සංචාරකයින්ගෙන් එක මිලියනයක් ලංකාවට ගෙන්වා ගන්න. ඒකම ඇති ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න” යැයි චීන විදේශ ඇමැතිවරයා අගමැතිවරයාට පැහැදිලි කර දුන්නේය.

අගමැති මහින්ද කීවේ දැනට ලංකාවට චීන සංචාරකයන් පැමිණෙන්නේ වසරකට ලක්‍ෂ 3ක් වැනි ප්‍රමාණයක් බවය. මේ අතර චීන විදේශ ඇමැතිවරයා ලංකාවේ ආයෝජන කිහිපයකට ද කැමැත්ත පළ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස් සංවර්ධනය කිරීම, හම්බන්තොට අධිවේගී මාර්ග කොටස ආදී ආයෝජන සඳහා චීන විදේශ ඇමැතිවරයා ආයෝජන යෝජනා ලංකාවට බාරදී තිබේ. ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු සිය සේවා කාලය නිමවා තිබේ. ඔහුට අලුතින් ලැබී ඇත්තේ ඇමරිකාවේ ඉන්දීය තානාපතිකමය. ඉන්දීය විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන තරංජිත් සිං සන්දු ඉන්දියාව වෙනුවෙන් කොළඹ සිට විශාල සේවයක් කළේය. ලංකාව චීනයට වැඩි සමීපතාවයක් දැක්වීම කෙරෙහි උනන්දු වූ ඔහු එය ඉන්දියාවට වාසි වන අයුරින් කළමනාකරණය කිරීමට සමත් වූ බව ඉන්දීය ආණ්ඩුවේ අදහසය. එයට සැලකීමක් ලෙස තරංජිත් සන්දුට ඇමරිකාවේ තානාපති ධුරය ලබාදී තිබේ.

විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ඉන්දියාව ලංකාවට විශේෂ සැලකිල්ලක් දක්වයි. ලංකාවේ මහකොමසාරිස් ධුරයට පත් කරන්නේ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. ඔහු ලංකාවෙන් පසුව ඇමරිකාවේ තානාපති වන අතර එයින් පසුව බොහෝවිට විදේශ ලේකම් ධුරයට පත්වේ. මීට ඉහත ලංකාවේ මහ කොමසාරිස් ධුරය හෙබවූ හර්ෂවර්ධන් ද මේ වනවිට ඇමරිකාවේ තානාපති ධුරයේ කටයුතු නිමවා ඉන්දියාවේ විදේශ ලේකම් ධුරයට පත්ව සිටියි. ඩග්ලස් දේවානන්දට මැති ඇමැතිවරුන් විහිළු කරන්නට පටන්ගෙන ඇත්තේ ඔහුට නොකඩවා ලැබෙන දුරකතන ඇමතුම් නිසාය. “ඩග්ලස් දේවානන්දට උතුරෙන් ලැබුණේ පොඩි ඡන්ද ප්‍රමාණයක්. ජනාධිපතිවරණයේදී ඩග්ලස්ගේ ඡන්දදායකයෝ දුන්න ඡන්ද ප්‍රමාණය වගේ දෙගුණයක් සුබපැතුම් පණිවුඩ එතුමාට ඇවිල්ලා” යැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඩග්ලස් දේවානන්දට විහිළු කරන්නට පටන්ගෙන ඇත්තාහ.

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ දිවයිනට පැමිණෙන බවට ඉකුත් සතියේ ආරංචි පැතිර ගියේය. එහෙත් ඔහු දිවයිනට පැමිණෙන්නේ ලබන පෙබරවාරි මාසයේදීය. බැසිල් ලංකාවට පැමිණ මහ මැතිවරණයේ කටයුතු මෙහෙයවීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසුව බැසිල් රාජපක්‍ෂ ඇමරිකාවට ගිය අතර මේ වනතෙක් ලංකාවට පැමිණියේ නැත.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 January 2020 17:05