May 20, 2024

කරළියෙන් එහා: එජාපය බේරා ගන්න රනිල් - රවී - ජනපති හමුවෙයි! ශ්‍රීලනිපය සහය දුන්නොත් ගෝඨාගේ ඉරණම

තවමත් දේශපාලන කරළිය උණුසුම් වී තිබෙන් ඉදිරි ජනාධිපතිවරණය සහ ජනපති අපේක්ෂකයින් පිළිබඳවය. මේ නිසාම ප්‍රධාන දේශපාලන පක්ෂ තුලද දෙදරායම් වාර්තා වන්නේ ජනාධිපති අපේක්ෂකයින් නම් කිරීමේ පැටලැවිල්ල හේතුවෙනි. එජාපය මේවන විට දෙදරා ගොස් ඇත්තේ ජනපති අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි තත්වයක් ඇති කරමිනි. මුලින්ම ජනපති අපේක්ෂකයෙකු නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාර්ථකව සාකච්ඡා පැවැත්වීමට තවමත් ශ්‍රීලනිපයට හැකිව තිබෙන බව එම පාර්ශව දෙකම සඳහන් කරයි.

මේ අතර පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා සහ ශ්‍රීලනිපයේ සාකච්ඡා පිළිබඳ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බවයි.

තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් වෙනස් කිරීමට කිසිම කිසිම සූදානමක් නැතැයිද ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. කොහෙම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්චාත් බොහෝදුරට සාර්ථක වෙලා තියෙනවා. මේ ආණ්ඩුව නම් දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බයවෙලා. අපිට ගහන්නේ ඒ නිසයි. කොහොම වුනත් අපි නියම වෙලාවට අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුධ නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නතවම බැරිවෙලා තියෙනවා. පක්‍ෂ ව්‍යවස්ථාව ඉදිරියට දාලා ඒ අර්බුදය වහගන්න දැන් එයාලා උත්සාහ ගන්නවා. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා ඒ විදියටම ක‍්‍රියත්මක වෙනවානම් හරිම හොඳයි”

ගෝඨාට මාධ්‍ය ප්‍රකාශවරු දෙදෙනක්

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය සඳහා නිල මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුුතු කර තිබිණි. ඒ අනුව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ. විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන්ගේ රැස්වීමේදී ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න රවී රනිල් ජනපතිට කියයි

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප උප නායක, අමාත්‍ය රවී කරුණානායක මහතා පෙරේදා හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබිණි. එහිදී මූලික යෝජනාව වී තිබුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට මූලික කටයුතු සලසා දෙන ලෙසයි. ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී මෙම ධූරය අහෝසි කිරීමට හදිසියේ ඉක්මන් වන්නේ ඇයිද යන්න ජනාධිපතිවරයා විමසූ විට අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2015දී ජනතාවට මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට ප්‍රකාශ කර තිබූ නිසා එය අහෝසි කිරීම අපේ යුතුකම හා වගකීම බවයි.

එහිදී පෙරලා කරුණු විමසූ ජනාධිපතිවරයා අගමැතිවරයාට ප්‍රකාශ කළේ මෛත්‍රී යුගයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මා දන්නා තරමින් එවැනි පොරොන්දුවක් නොමැති බවත් විධායක ජනාධිපතිධූරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට පැවරීමට පොරොන්දු වූ බවත්ය. එම පොරොන්දුව තමා විසින් මේවන විටත් සිදු කර අවසන් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

එහිදී අදහස් දක්වමින් රවී කරුණානායක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිධූරයට තරග කිරීමට බොහෝ දෙනෙකු සිටින නිසා ප්‍රශ්න ගණනාවක් ඇතිව ඇති බවයි. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් නැවතත් රටේ අඳුරු යුගයක් බිහිවන නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වඩාත් සුදුසු බවයි.

එහිදී ජනාධිපතිවරයා රවී කරුණානයක ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ පක්ෂයක් ලෙස සිදු කල යුත්තේ ජනාධිපතිධූරය අහෝසි නොකොට එඩිතරව ජනපතිවරණ සටනට මුහුණ දී ජයගත හැකි අපේක්ෂකයෙකු යොදා මැතිවරණය ජයග්‍රහණය කර ගැනීම බවයි. 2015දී ආසියාවේ කිසිදු කෙනෙකුට පරාජය කල නොහැකි යැයි කියූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ සටනින් බලයේ සිටියදීම පරාජය කල බවත් එබැවින් පක්ෂය තුළ සුදුසු පුද්ගලයෙකු තෝරා ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රවී කරුණානායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සජිත් හෝ කරූ එජාපයෙන් ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බවත් එසේ වුවහොත් පක්ෂය තුළ ප්‍රශ්න ගණනාවක් ඇතිවන නිසා එම දෙදෙනාට අපේක්ෂකත්වය නොදීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මේවනවිට තීරණය කර ඇති බවත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එජාපය ඉතා වුවමනාවකින් හා කැපවීමකින් සිටියත් ඇතිවී තිබෙන ප්‍රශ්න හමුවේ අගමැතිවරයාද එයට ඉදිරිපත් වීමට සුදුසු වාතාවරණයක් පක්ෂය තුළ නැති නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වඩාත් සුදුසු බව ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මැතිවරණය තුලින් පැහැදිලි ලෙසම ජයගැනීමට තවමත් ආණ්ඩු පක්ෂයට හැකියාවක් තිබෙන නිසා නිසි වැඩපිළිවෙලක් සහිතව සියලු දෙනා එක් කල හැකි පුද්ගලයෙකු සමග බලවේගයක් ලෙස ඉදිරිපත් වුවහොත් තමාගේ දේශපාලන දැනුම අනුව ස්ථීර වශයෙන් මෙම මැතිවරණය ජයගත හැකි බව තමන්ට පෙනී යන බවත්ය.

නොහැකියාව මත තරගයට බියවී තරගය අහෝසි නොකර තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමේ බලවේගය නිර්මාණය කර ගත යුතු බවත් පක්ෂයක් විදියට මෙවැනි පසුගාමී අදහස් පක්ෂයේ ඉදිරි දියුණුවට දැඩි හානියක් බවත් ජනපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 එජාප ජනපති අපේක්ෂකයා එන හැටි

මේ අතර එක්සත් ජාතික පක්ෂයද සිය ජනපති අපේක්ෂකයා පත් කර ගැනීමේ අර්බුදය යට ගැසීමට ප්‍රකාශයක් කර තිබිණි. එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළයුතු වන්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බවයි.

“ජනාධිපතිවරණයට නිල වශයෙන් නාම යෝජනා කැඳවීමට පෙර අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව බලයක් නෑ. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරනවා. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසින්. එම නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව ඒ තැනැත්තාගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළයුතුයි. අදාල ප්‍රතිපාදන සහිත පක්ෂ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුයේ මෙරට පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයායි.” නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා එජාප ව්‍යවස්ථාන පැහැදිලි කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.  පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බවද අද (30) සිට අදාළ විනය පරීක්ෂණ ආරම්භ වන බවද එජාප නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම ආසනයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.

ජාතික පෙරමුණේ ව්‍යවස්ථා සකසා අවසන්

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේවන විට සම්පූර්ණයෙන්ම නිමාවට පත් කෙරිණ. ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතියද පල වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරෙයි. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කෙරෙමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් පත් කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණු නායකත්ව මණ්ඩලයේ සභාපතිධූරය එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවන්නේය. සන්ධානයේ මහලේකම් නම් කිරීමේ බලයද ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටම හිමිවී ඇත.

ශ්‍රීලනිපයෙනුත් විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කර තිබියදී පක්ෂ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ‍

මෙහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කවුරු අපේක්ෂකයා ලෙස කුමන පක්ෂය නම් කළත් අන්තිමේ දී කවුරු දිනවනවාද කවුරු පරද්දනවාද කියලා තීරණය කරන්නෙ තමා බවයි. තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බැවින් එම ඡන්ද නොමැතිව කයිවාරු ගහන කිසිවකුටත් දිනන්නට නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එමනිසා ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණ ගන්නේ තමා මිස නටන දඟළන අය නොවන බව කවුරුත් මතක තබාගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

තවද, පක්ෂයක් ලෙස විනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමා බොහෝ අවස්ථාවල දී ඉවසීමෙන් කටයුතු කළ නමුත්, එය දුර්වලකමක් කියා බොහෝ දෙනා සිතුවද දැන් ඒ සියල්ල අවසන් බැවින් කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

“ඔය ගියපු හැමෝටම එරෙහිව වහාම විනය පරීක්ෂණ තියන්න. ඒවා ඇද ඇද ඉන්නත් එපා, හැකි ඉක්මනින් ඉවර කරන්න” යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත. පසුගිය 11 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතාව දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බව පැවසේ. ‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවේදී අදාළ තීරණය ගෙන තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා සහ එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සියලුමදෙනා පක්‍ෂය හැරගියා සේ සලකා කටයුතු කරන බවත්, ඔවුනට එරෙහිව කඩිනමින් විනය පරීක්‍ෂණ පැවැත්වීමටත් තීරණය කළ බවත් වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කෝප් පැසසුම්

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම පසුගිය 09වෙනිදා උත්සවාකාරයෙන් සිදුවිය. කෙසේ වෙතත් මේ ක‍්‍රියාවලියට දීර්ඝ කාලයක් ගත කිරීමට වර්තමාන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්තිට සිදුවිය. කතානායකවරයාගේද සහය ඇතිව මෙම කර්තව්‍ය ක‍්‍රියාවට නැගීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පැසසුම් ඉදිරිපත් වන්නට විය. විශේෂයෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරයාට සුභපැතීමට එක්වූවෝ අතර අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල, සංස්ථාවල නිලධාරීන් වූහ. ”මේවා අපේ රටට අලූත් දේවල් වුනාට නීතියේ ආධිපත්‍ය ගරුකරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වලට අලූත් දේවල් නෙවෙයි. මම කෝප් සභාපතිවරයා විදියට විවිධ රටවල වැඩමුළුවලට ගිහින් තිබෙනවා. ඒ රටවල කෝප් වැනි කමිටුවල විමර්ශන මාධ්‍යයට විවෘත කරලා පවත්වාගෙන යන්නේ. ඒ තරම් විනිවිදභාවයකින් වැඩකරනවා. නමුත් අපේ රටේ තත්වය කොහොමද? කොයිතරම් කාලයක් ගියාද අපේ කෝප් කමිටුව මීඩියාවලට විවෘත කරන තීරණය ගන්න. ඒ අතින් අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ” කෝප් සභාපතිවරයා සුභපැතීමට කතා කළ අමාත්‍යංශ ගිණුම් නිලධාරියෙකුට කියා සිටියේය. ”ඔව් සභාපතිතුමා අපේ රටේ රාජ්‍ය ආයතන කියන්නේ හොර ගුහාවල්. ඒවායේ සිදුවෙන වංචා දූෂණ කෝප් කමිටුවේ විමර්ශනය කරලා ඉවර කරන්න බැහැ. කෝප් කමිටුව මීඩියාවලට විවෘත වීමෙන් ජනතාව දැනගනී කොයිතරම් හොරකම් වෙනවද කියලා.” එම නිලධාරියා පෙරළා පැවසීය. ”ඇත්තටම මන්ත‍්‍රීතුමා මේක හොඳ වැඩක්. මොකද දැන් අපිටත් කෝප් කමිටුවට එන්න කැමැත්තක් තියෙනවා. මොකද මේවා මීඩියාවලින් ජනතාව දැනගන්නවා. මීට කලින් විමර්ශන වුනත් අපි තීන්දු තීරණ ගත්තත් ඒවා ක‍්‍රියාත්මක වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් අඩුම තරමේ මීඩියාවලින් හරි මේවා හොයලා බලයි.” තවත් නිලධාරියෙක් පැවසීය. ”සමහර මන්ත‍්‍රීලා ඇමතිලා පිට රටවල්වල ගිහින් ෂොපින් කරලා එනවා. ඔබතුමා වැඩමුළුවලට ගිහින් අපේ රටට දැනුම, පරිපාලන ක‍්‍රමවේද අරගෙන ඇවිත් තියෙනවා. එහෙම ජනතා නියෝජිතයෝ තමයි රටට  ඕනෑ. කෝප් කමිටුව මේ වගේ ජාත්‍යන්තර මට්ටමට ගේන්න අපෙන්  ඕනෑ කරන සහය අපි දෙනවා.” පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට සම්බන්ධ නිලධාරියෙක් සුනිල් හදුන්නෙත්තිට පැවසීය.

ලංකාවේ පක්ෂයකට ඇමරිකන් සම්බන්ධකම් තුනක්

ජනතා විමුක්ති පෙරමුණ සහ වෙනිසියුලානු රජයේ රාජතාන්ත‍්‍රිකයින් දෙදෙනකු අතර හමුවක් පසුගිය සතියේ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මේ සදහා ජවිපෙ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති සහ ජවිපෙ ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය, තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් අංජන සම්පත් සහභාගිවිය. වෙනිසියුලාව නියෝජනය කරමින් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලීනා, ඉන්දියාවෙ වෙනිසියුලානු තානාපති කාර්යාල නිලධාරී නෙස්ටර් ලෝපේස් සහභාගිවිය. මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වයත් අධිරාජ්‍යවාදී බලපෑම් සම්බන්ධයෙනුත් කතාබහට ලක්විය. ඒ අතර ජවිපෙ යෝජනාවක් වූයේ ලංකාවට වෙනිසියුලානු තානාපති කාර්යාලයක් ලබාදීමට කටයුතු කරන ලෙසය. මේ අතර ජවිපෙ සංවිධානයෙන් වෙනිසියුලාවට අධිරාජ්‍යවාදී අතපෙවීම් නවතන ලෙසට බලපෑම් කරන සම්මන්ත‍්‍රණයක්ද පසුගියදා කොළඹදී පැවැත්විනි. එයට වෛද්‍ය නලින්ද ජයතිස්ස දේශකයෙකු ලෙස සහභාගිය විය. ඔහුගේ කතාවේ සඳහන් වූ අපුරු දෙයක් වූයේ ලංකාවේ තිබෙන එක්තරා පක්ෂයක ඉහළම නායකයන් තිදෙනෙක් ඇමරිකාවට සමීප සම්බන්ධයක් තිබෙන අය වීම ගැනය.

”අපේ රට ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් ගැහුවේ 1995හේ. ඒ තමයි සෝෆා ගිවිසුම. ගිවිසුම අත්සන් කළේ ජීඑල් පීරිස්. ජීඑල්ට තිබුණ ලොකුම චෝදනාව වුනේ ඇමරිකාවේ සීඅයිඒ එකෙන් පඩි ගන්න ලැයිස්තුවේ නම තිබුණා කියන එක. ඒ ජීඑල් පීරිස් තමයි පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත්වෙන්නේ. ඇමරිකානු පුරවැසිභාවය තවමත් අතහැරලා නැති, අතහරින්න හිතලාවත් නැති බැසිල් රාජපක්ෂ තමයි පොදුජන පෙරමුණේ සංවිධායකයා බවට පත්වෙන්නේ. මේ වෙනකල් පුරවැසිභාවය අතහැරියද කියලා අපි දන්නේ නැති ඒත් නෝනා තවම ඇමරිකන් පුරවැසියෙක් වෙන දරුවන් ඇමරිකන් පුරවැසියන් වන ගෝඨා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා. ඒ විතරක් නෙවෙයි ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවුනේ ආගමික නායකයින් නෙවෙයි, හමුවුනේ ඇමරිකානු තානාපතිවරිය හා දකුණු ආසියාව භාර ඇමරිකානු නිලධාරිනිය. චීන බලපෑමට විරුද්ධව ඇමරිකාව තමන්ගේ වැඬේ කරගන්න යුඑන්පී එකෙන් බැරි වුනාම අනෙක් පැත්තෙන් රූකඩයක් හරි දානවා. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරනකොට නිවේදන දාන ඇමරිකානු තානාපති කාර්යාලය, ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂක ලේකම් විදියට හිටපු ගෝඨාභය ජනාධිපති අපේක්ෂක වෙනකොට කිසි සද්දයක් නැහැ. මේක තමයි ඇමරිකාවේ හැසිරීම.” වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමරිකානු මැදිහත්වීම පැහැදිලි කළේය.

Rate this item
(0 votes)