May 20, 2024

කරළියෙන් එහා: එජාපයට එරෙහිව අලුත් පක්ෂයක්! මරණ දඩුවම එරෙහි පනත අවදානමේ

ජනාධිපතිවරණය පිළිබඳ යළිත් කහාබහට ලක්වීමට පටන් ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශයත් සමගය. ඒත් සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද දේශපාලන කරළියෙන් එහා කතාබහක් මතුවෙමින් පවතී.

මේවන විට එජාපයේද ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නම් කර ගැනීමට විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වුවද එය මේවන විට සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය අතර පවතින මත ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය සතියේ නැවත වරක් පළාත් සභා මැතිවරණය ගැන මතු කළේය. පසුගිය සඳුදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පුවත්පත් කතුවරුන්ට විශේෂ සාකච්ඡාවකට ආරාධනා කර තිබිණි. ශ්‍රී ලංකා කර්තෘ සංසදය හරහා මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්හි කතුවරුන් පිරිසක් ඊට සහභාගී සිටියහ. දිනෙන් දිනම දින නියමයක් නොමැතිව කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය ඒ සඳහා කොමිෂන් සභාව ගන්නා උත්සාහයන් ආදී සියල්ල ගැන සභාපතිවරයා කතුවරුන් හමුවේ පැහැදිලි කළේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා විපක්ෂනායකවරයා මෙන්ම අනෙකුත් දේශපාලන නායකයින්ටද ලියන ලද ලිපි මිටියක්ද සභාපතිවරයා පුවත්පත් කතුවරුන්ට සාක්ෂි ලෙස පෙන්වා සිටියේය. කතුවරුන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැත්විණි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූවේ ලබන ඔක්තෝම්බර් මාසයේ මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය කෙසේ හෝ පැවැත්වීමට කටයුතු කළ යුතු බවය. “මම ජනාධිපතිතුමා හමුවුණා. එතුමාගෙන් මම ඉල්ලීමක් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමාට පැවරී ඇති බලතල අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැදිහත් වෙන්න කියලා. එතුමා ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා හෝ එසේ නොකරත් එතුමාට මැදිහත් වෙන්න පුළුවන්.” මහින්ද දේශප්‍රිය සභාපතිවරයා එසේ කරුණු පැහැදිලි කළේය. මැතිවරණ කොමිෂමේ ආරංචි මාර්ග පැවසූවේ ජනාධිපතිවරයා සිය බලතල භාවිතා කර සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව ගැසට් පත්‍රයේ පලකරනු ඇති බවයි. එසේ වුවහොත් කොට්ඨාශ ක්‍රමය හෙවත් නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිය. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටද පැවැත්වීමේ ඉඩ කඩක් පවතින බව වාර්තා වේ. නමුත් තිබෙන වාතාවරණය අනුව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමටද හැකි බවට වාර්තා වේ.

මරණ දඩුවමයි පනතයි දෙකම අවදානමේ

මරණ දණ්ඩනය ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරීගොඩ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට පාර්ලිමේන්තුවේ එතරම් වැදගත්කමක් හිමිවන්නේ නැත. විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් නම් ඊටත් වඩා අඩු සැලකිල්ලක් හිමිවේ. ඇතැම්විට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ආණ්ඩු පක්ෂයට හෝ සභානායකවරයාට හෝ එය යම් යම් අවස්ථාවල ප්‍රමාද කරවීමේ හැකියාවද පවතී. ඒ කෙසේ වෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුවද එය ක්‍රියාත්මක නොකර සිටීමේ වුවද ආණ්ඩුවට හැකියාවක් පවතී. නමුත් බන්දුලාල් බණ්ඩාරීගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මීට වඩා වෙනස් තත්ත්වයක් ගනියි. එජාපයේ අවශ්‍යතාවයකට අනුව මෙම මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. “ජනාධිපතිතුමා මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න හදනවා. ආණ්ඩු පක්ෂය විදියට විරුද්ධ යෝජනාවක් ආවොත් ජනාධිපතිවරයායි ආණ්ඩුවයි අනවශ්‍ය හැප්පිල්ලකට යනවා. ඒක හොඳ නෑ. ඒ නිසා මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා” යැයි එජපා ඇමැතිවරයෙකු සඳහන් කළේය.

මරණ දඩුවමට එරෙහිව පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉකුත් සිකුරාදා ඉදිරිපත් කළ යෝජනාව එදිනම රජයේ මුද්‍රණාලයට යවා තිබුණේය. කතානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු  මහ ලේකම් ධම්මික දසනායක සිකුරාදා පස්වරුවේම ගැසට් කිරීම සඳහා එම පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලයට යවා තිබිණි. එවැනි යෝජනාවක් සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ගත යුතු වුවද ආණ්ඩුව එසේ සිදු කිරීමට කටයුතු කර නොතිබිණි. ස්ථාවර නියෝග අත්හිටුවා ඉතා හදිසියෙන් පියවරක් ඉදිරියට පන්නා කතානායකවරයා පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලයට යවා තිබූ අතර මේවන විට එය රජයේ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වී තිබේ. “ මෙවැනි පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ පළකර සති දෙකක් තියෙන්න අරිනවා. කාටහරි අවශ්‍ය නම් ඒ සති දෙක තුළ උසාවි යන්න පුළුවන්. උසාවි ගිහින් විරෝධතා දක්වන්න අවස්ථාව තිබෙනවා. විරෝධතා නොමැති නම් නීතිපති දෙපාර්තමේන්තුවටත් නීති කෙටුම්පත් කාර්යාලයටත් යවා එහි යම් යම් සංශෝධන සහිත විෂය භාර ඇමැතිවරයා එය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. කැබිනට් අනුමැතිය හිමි වුවොත් පාර්ලිමේන්තුවේ විවාද කර පනත සම්මත කරගන්න පුළුවන්” යැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.ආණ්ඩුවට අවශ්‍ය නම් මාසයක් ඇතුලත ඔය සියල්ල කර ගන්න අවස්ථාව තියෙනවා. ඒත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයේදී ඊට විරෝධය දක්වන්න නතර කර ගන්න අවස්ථාව තියෙනවා” යැයි එම නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක වීමත් එය ක්‍රියාත්මක නොවීමේ පනත සම්මත වීමත් යන කාරණා දෙකම ඉතාම අවදානම් මට්ටමක පවතින බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි.

එජාපයට එරෙහි අලුත් පක්ෂයක් එළියට

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නව දේශපාලන පක්ෂයක් ඉතා කඩනමින් ගොඩනැගෙමින් පවතී. එම පක්ෂයේ අරමුණ වී ඇත්තේ එජාපය නිසා දැඩි අසාධාරණයට පත්ව සිටින එජාප පාක්ෂිකයින්ට යම් සාධාරණයක් ඇතිකර ගැනීම යැයි එම පක්ෂයේ මහ ලේකම් සුගත් හේවාපතිරණ සඳහන් කරයි.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා සඳහන් කළේ “ අපි තවත් අලුත් වැඩකට අත ගැහුවා. රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් දියත් කරනවා. කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් මේ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරනවා. පසුව එය ක්‍රමක්‍රමයෙන් රට පුරා ප්‍රධාන නගරවල පවත්වන්න තමයි අපි අදහස් කරගෙන ඉන්නේ.” යැයිද සුගත් හේවාපතිරණ පැවසී ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයටද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය තරග කරන බවය.

ශ්‍රීලනිප ආසන බෙදීම ගැන කසුකුසුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධාකවරුන් කීපදෙනෙකු පත් කර තිබූ අතර තිලංග සුමතිපාල බොරැල්ල ආසනය අතහැර මොරටුවට පත්වීම් ලැබී ඇත. මොරටුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ ජීවන් කුමාරතුංගට ලැබී ඇත්තේ කැස්බෑව ආසනයයි. තිලංග මොරටුවටත්, ජීවන් කැස්බෑවටත් පත් කිරීම ගැන ශ්‍රී ලනිප පාක්ෂිකයින් අතර කතාබහක් ඇතිව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා මුණගැසී දේශපාලන සාකච්ඡාවක නිරත විය. ප්‍රසන්න, පවිත්‍රා, ලන්සා, ෂෙහාන්, සනත්, පියල් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ. ඔවුන්ගේ සාකච්ඡාවට මුල්වී තිබුණේ ජනතාවට විඳින්නට සිදුව ඇති දුක්ගැහැට ගැනය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 20 July 2019 22:37