May 20, 2024

ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්න ජනපති තීරණය කරයි?

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් පෙරේදා (18) පෙරවරුවේ ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවේදී මේවන විට පවතින අන්තවාදී ත‍්‍රස්තවාදය ගැන මෙන්ම එම සංවිධාන ගැන තොරතුරුද බොහෝමයක් ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

තමන්ටද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඥාණසාර හිමියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට ඉඩ ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කළේය.

ඉතා පුද්ගලික මට්ටමින් පැවති එම හමුව සඳහා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුකාරවරයෙක්, මන්ත්‍රීවරයෙක්, මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ තවත් එක් අයෙකු සහභාගී වී තිබූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසී ය.

අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කරන ලදී.

ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන්, මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉල්ලීම් කර තිබිණ.

Rate this item
(3 votes)