May 18, 2024

බණ්ඩාරනායක ප්‍ර‍තිපත්තිය සැබෑ කරන හැටපස් වසරක අභිමානය

September 03, 2016

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ ඒකරාශි වීමෙන් ගොඩනැඟුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ප්‍ර‍බලතම දේශපාලන පක්ෂයක් ලෙසින් විරාජමාන වේ. ඊට හේතුව වන්නේ එදා මෙදා තුර රටේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පොදු ජන හඬ වෙනුවෙන් සැබෑ ලෙසම පෙනීසිටි පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය සැමගේ ගෞරව බහුමානයට පාත්‍ර‍වීමයි.

1951 වසරේ සැප්තැම්බර් මස දෙවන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භවන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිඳුන්ගේ නායකත්වයෙනි. පවතින රජයට ප්‍ර‍බල අභියෝගයක් වෙමින් පංච මහා බලවේග නිවැරදි දිශානතියක් වෙත යොමුකරලීමේ භාරදූර වගකීම ඉටුකළ පක්ෂ නායකත්වය ඇතුළු පාක්ෂිකයන් ආරම්භයේ පටන් ආදර්ශවත් දේශපාලනයකට මඟ හෙළි කළහ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ප්‍ර‍ථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත්වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු බලය හොබවන කාල වකවානුවේදීය. 1994 දී ලාංකේය දේශපාලනයේ ප්‍ර‍ථම ජනාධිපතිනිය වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට පත්වීම සහ    ත්‍ර‍ස්තවාදී ප්‍ර‍හාරයෙන් අනතුරුව ද නැවතත් රටේ ජනාධිපතිනිය වශයෙන් පත්වී දස වසරක ධුරකාරයක් දැරීම විශේෂත්වයකි. 2004 දී මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත්ව 2009 වසරේදී ත්‍ර‍ස්තවාදය පරාජය කිරීම මෙන්ම 2014 දක්වා එම ධුරයේ රැඳී සිටිම ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුවිශේෂි සන්ධිස්ථානයකි.

2015 ජනවාරි 08 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ දේශපාලන පක්ෂ සහ බලවේග රාශියකගේ ඡන්දයෙන් රටේ ජනාධිපතිවීම දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. මන්දයත් විසිරී තිබුණු ජනමතය කෙටිකාලයක් තුළ නිවැරදිව ඒකරා‍ශී කරමින් එකම අරමුණක් වෙනුවෙන් හසුරුවාලීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලය වූයේ ජනාධිපතිධුරය හුදෙක් ජනනායකයෙකු අතික්‍ර‍‍මණය කළ ජනතා සේවකයෙකු වශයෙන් තමන්ව හඳුන්වා දුන් නිරහංකාර ජනාධිපතිවරයෙකු පත්වීමයි.

ඉන් අනතුරුව පක්ෂයේ නායකත්වය හොබවන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධාන අභියෝගය වන්නේ නැවතත් පක්ෂයේ ප්‍ර‍තිපත්ති ආරක්ෂා කරමින් රට තුළ සැබෑ වෙනසක් ඇති කිරීමයි. එහිදී එම අභියෝගය මතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ ජාති, ආගම්, කුල මතින් නොබෙදුණු සැබෑම ශ්‍රී ලාංකික අභිමානය පෙරදැරිව ගමන ආරම්භ කර තිබේ. දැන් අවශ්‍යවන්නේ අලුත් ගමනට හදවතින් ආශිර්වාද කරමින් සැබෑ ශ්‍රී ලාංකික නිදහස් පක්ෂ සමාජිකයන් වශයෙන් ඊට දායකත්වය සැපයීමයි.

65 වසරක කාලයක් රටේ ප්‍ර‍බල දේශපාලන පක්ෂයක් වශයෙන් වත්මන් දේශපාලන ප්‍ර‍වාහය තුළ රැඳී සිටීම සුළුපටු කාර්යයක් නොවන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. රට තුළ කුමන තත්ත්වයක දේශපාලන පසුබිමක් හටගත්ත ද ඊට අනුරූපීව වක්‍ර‍ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ මහජන මතය හැසිරවීමේ මෙවලමක් ලෙස ක්‍රියාත්මක වීම ඕනෑම දේශපාලන පක්ෂයකට අභියෝගයකි. එමෙන්ම වඩා වැදගත් වන්නේ අවස්ථානුකූලව රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීරණය වෙනුවෙන් පක්ෂයේ ප්‍ර‍තිපත්ති ද ආරක්ෂා කරමින් පාක්ෂිකයන් ද හසුරුවා ගනිමින් අන්තවාදී දේශපාලන අදහස් පරාජය කිරිමයි.

දේශයක් පාලනය කිරීම ද එක්තරා ආකාරයක කලාවකි. එම කලාව තුළ දේශපාලන පක්ෂයක් යනු කලාව වර්ණවත් කරන්නා වූ සුවිශේෂී මෙවලමකි. දීර්ඝ ඉතිහාසයක් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ ජනහඬ නියෝජනය කරන ආදරණීය පක්ෂයක් බැව් පැවසීම යුක්ති යුක්තය.

එවන් පක්ෂයක මතු පැවැත්ම රඳා පවතින්නේ වත්මන් ක්‍රියාකාරීත්වය මත බැවින් පාක්ෂිකයන් වශයෙන් ඔබ මම සහ අපි කළයුතුව ඇත්තේ පක්ෂයේ කඩාවැටීම අපේක්ෂා කරන අවස්ථාවාදී පුද්ගලයන්ගේ කෙනෙහෙලිකම්වලින් පන්නරය ලබමින් තව තවත් ශක්තිමත් වීමයි. එහිදී අප කළයුතු වන්නේ පොදු ජනහඬ නියෝජනය කරන පක්ෂය වශයෙන් විරාජමාන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතු පරපුරේ උන්නතිය වෙනුවෙන් ආරක්ෂා කිරීම නොවන්නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමියා වන බණ්ඩාරනායක මැතිතුමා සිතූ එතුමා පැතූ සැබෑ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්තිය යථාර්තවත් කරමින් අපේ පක්ෂය රැක ගනිමු.

ආදරණීය මිනිසුන්ගේ ලේ, කදුළු, දහදිය මතින් අපේම ආදරණීය පක්ෂය අපේම දෑතින් තව තවත් ශක්තිමත් කරමින් තවත් චිරාත් කාලයක් දේශයට හිතැති ජන නායකයන් සමඟින් මහා ජන පවුරක් ගොඩනඟන්නට එක්සිත්ව එක්වෙමු.

මේ මගේ ආදරණීය පක්ෂයයි.

දුමින්ද දිසානායක 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 September 2016 10:29