May 18, 2024

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති සමග ඩීල් එකක

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ නායකත්වය පිළිගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ (17) පක්‌ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම සිය ආසන සංවිධායක ධූරය අහෝසි කර නව ආසන සංවිධායකවරුන් පත් කළද ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරන තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකගේ ආසන සංවිධායක ධූර අහෝසි කර නොතිබිණි.

එම මන්ත්‍රීවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග ඩීල් එකක් ඇති කරගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ ආසන සංවිධායක ධූරවලින් ඉවත් කළ මන්ත්‍රීවරුන් හා ඉවත් නොකළ මන්ත්‍රීවරුන්ද ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරමින් සිටි පිරිසක් වන අතර ඔවුන් ඇතැම් අවස්ථාවලදී පක්ෂ නායකත්වයද විවේචනයට ලක් කර තිබිණි.

මේ අතර ශ්‍රීලනිපයේ ආසන සංවිධායකධූර දරන ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, දිලුම් අමුණුගම, ශෙහාන් සේමසිංහ, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුවට එක්නොවූවද සිය ආසන සංවිධායක ධූර රැකගනිමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් කටයුතු කිරීමට එම සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ආසන සංවිධායකවරුන් 14 දෙනකු ඉවත්කර දිස්‌ත්‍රික්‌ හා නව ආසන සංවිධායකවරුන් 40දෙනකු පක්‌ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (17 ) පත්කරනු ලැබීය.

කැස්‌බෑව ප්‍රධාන සංවිධායක ගාමිණී ලොකුගේ, මීගමුව ප්‍රධාන සංවිධායක සරත් කුමාර ගුණරත්න, කළුතර ප්‍රධාන සංවිධායක රෝහිත අබේගුණවර්ධන, වැලිගම ප්‍රධාන සංවිධායක මහින්ද යාපා අබේවර්ධන, කුණ්‌ඩසාලේ ප්‍රධාන සංවිධායක කෙහෙළිය රඹුක්‌වැල්ල, වලපනේ ප්‍රධාන සංවිධායක සී. බී. රත්නායක, ඇහැලියගොඩ ප්‍රධාන සංවිධායිකා පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ල ප්‍රධාන සංවිධායක ජගත් බාලසූරිය, හපුතලේ සම සංවිධායක උදිත ලොකු බණ්‌ඩාර, මීරිගම සම සංවිධායිකා කෝකිලා ගුණවර්ධන, දිවුලපිටිය සංවිධායිකා උපේක්‌ෂා ස්‌වර්ණමාලි, ඌව පරණගම ප්‍රධාන සංවිධායක ඒ. එච්. බුද්ධදාස, වව්නියාව සම සංවිධායක ධර්මපාල සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් මෙලෙස එම ධුරවලින් ඉවත්කර තිබේ.

ඉවත් කරන ලද සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරු 16දෙනකු හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් විසිහතර දෙනකු පත්කර ඔවුන් සඳහා ඊයේ (17) ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

චන්දන කත්‍රිආරච්චි (කැස්‌බෑව), සංජය සිරිවර්ධන (මීරිගම), ඩබ්ලිව්. ඩී. ලලිත් ඩෙන්සිල් (මීගමුව), චන්දන ජයකොඩි (දිවුලපිටිය), සුමිත් ලාල් මෙන්ඩිස්‌ (කළුතර), එම්. එච්. එම්. අමිජාඩ් (බේරුවල), හේමාල් ගුණසේකර (වැලිගම), එරාඡ් රවින්ද්‍ර ප්‍රනාන්දු (බෙලිඅත්ත), සුනිල් කිත්සිරි අමරතුංග (කුණ්‌ඩසාලේ), ජගත් කුමාර සමරහේවා (වලපනේ), සරත් සන්දනායක (ඇහැලියගොඩ), ආනන්ද මිල්ලන්ගොඩ (කෑගල්ල), ඩී. එම්. පී. ඒ. දසනායක (ඌව පරණගම), සුමිත් සමයදාස (හපුතලේ), පී. සුමතිපාල, කේ. කාදර් මස්‌තාන් (වව්නියාව) යන මහත්වරු නව සංවිධායකවරු ලෙස පත්කර සිටිති.

Rate this item
(0 votes)