May 12, 2024

ඉන්දුනීසියානු භූ කම්පනයේ පසුකම්පන 06ක්

ඉන්දුනීසියාවට ඔබ්බෙන් සාගරයේ ඊයේ (02) සිදු වූ භූ කම්පනයෙන් අනතුරු ව අද (03) අලුයම් කාලයේ ඇති වූ පසු කම්පන හේතුවෙන් සුමාත්‍රා දූපත්වල ජීවත්වන ජනතාව අනියත බියක් හේතුවෙන් ඔවුන් කලබල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2004 වසරේ දී මෙම කලාපය ආශ්‍රිත ව සිදු වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමි තත්ත්වය කිසිවෙකුටත් අමතක කළ නොහැකි බැවින් එවැනි කලබලවීමක් පිළිබඳ පුදුම විය යුතු නොමැති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුව ද ඊයේ සිදු වූ රික්ටර් පරිමාණ 7.8 ක භූ කම්පනය පැඩන්ග් වරාය නගරයේ සිට කිලෝමීටර් 808ක් නිරිත දිගින්, කිලෝමීටර් 10ක් ගැඹුරින් අපිකේන්ද්‍රය සටහන් කරමින් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

මෙය 8.2ක භූ කම්පනයක් ලෙස ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණ ද අනතුරු ව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්ත අනුව එය 7.8ක භූ කම්පනයක් බවත් සුනාමි අනතුරක් නොමැති බවත් සඳහන් විය.

කෙසේ වුව ද භූ කම්නයෙන් අනතුරු ව ඊයේ රාත්‍රී සහ අද අලුයම් කාලයේ දී පසු කම්පන 06ක් පමණ ඇති වූ බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සුමාත්‍රා දූපත්වල ජනතාව උස්බිම් කරා දිවයන ආකාරය දැකිය හැකි වුවත්, වැරදි තොරතුරු හා කටකතා මත අනවශ්‍ය කලබලවීමක් අවශ්‍ය නොවන බව එරට ආපදා කළමනාකරණ ආයතනය ජනතාවට දැනුම් දී තිබේ.

එසේ ම මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් මෙතෙක් ජීවිතහානි හෝ දේපොළ හානි වාර්තා වී නොමැති බවත්, ජනතාව ක්‍රමයෙන් තම සාමාන්‍ය ජීවිතයට පිවිසෙමින් සිටින බවත් සුමාත්‍රා දිවයින් ආශ්‍රිතව තොරතුරු වාර්තා වේ.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට ද සුනාමි තත්ත්වයක් නොමැති බව ඊයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ.

 

Rate this item
(0 votes)