ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන සම්මුතිය වියානා අගනුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඩෙරිකා මොග්හරිනි එහිදී කියා සිටියේ මෙම අවස්ථාව ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන බවයි.
මාස ගණනක් පැවති සාකච්ඡා වටයකින් අනතුරුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුතුවලට පමණක් යොදා ගනු ඇති බවට ගිවිස ගත් බවත් මෙයින් කලාපීය සහ ජාත්‍යන්තර සාමයට රුකුලක් ලැබෙනු ඇති බවත් ඇය පැවසුවාය.
ජාත්‍යන්තර බලවතුන් හා ගිවිසුමකට ළඟා වීමට හැකි වීම බලාපොරොත්තුවේ නව පරිච්ඡේදයක ඇරඹුමක් ලෙස තමා හඳුන්වන බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පැවසී ය.
න්‍යෂ්ටික ආයුධ තැනීමේ සැලසුමක් ඉරානයට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
(බීබීසි)