May 07, 2024

ධවල මන්දිරය කැලඹූ බෝම්බ බියක්

නිර්නාමිකව පැමිණි දුරකථන ඇමතුම් දෙකක් නිසා ඇමරිකාවේ ධවල මන්දිරය තුළ කලබලකාරී තත්වයක් ඇති වී තිබේ. මෙම දුරකථන ඇමතුම්වලින් තර්ජනය කොට ඇත්තේ ධවල මන්දිරයේ තොරතුරු ඒකකයට සහ සෙනට් කාර්යාල ගොඩනැගිලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට යි.
 
දුරකතන ඇමතුම් ලැබීමෙන් අනතුරුව විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ ධවල මන්දිර තොරතුරු ඒකකයේ දෛනික මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි සියලු මාධ්‍යවේදීන් සහ සෙනට් සභා කාර්යාලය තුළ සිටි සියලු සේවකයන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
 
ඉන් පසුව රහස් පොලිස් ඒකකයේ බෝම්බ ඉව කරන සුනඛයන් යොදා ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී සැක කටයුතු කිසිවක් හමු වී නොමැති බව සඳහන් වේ.
ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් අර්නස්ට් යළිත් මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කර තිබේ.
 
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී ධවල මන්දිර තොරතුරු කේන්ද්‍රය ආසන්නයේ පිහිටා ඇති "ඕවල් ඔෆිස්" නමින් හැඳින්වෙන කාර්යාලය තුළ ජනාධිපති ඔබාමා රැඳී සිට ඇති අතර මෙම අනතුරු හැඟවීම් හේතුවෙන් ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව සහ දියණියන් දෙදෙනා ධවල මන්දිරයෙන් පිටත වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නොමැති බව ජෝන් අර්නසට් පවසා ඇත.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 June 2015 09:54