May 14, 2024

කොටස් වෙළඳපොල කඩා වැටෙයි

November 24, 2014

වෙළඳ ව්‍යාපාර ආයෝජකයින් තුළ ඇති වී තිබෙන දේශපාලනික කැළඹීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු කඩා වැටෙමින් පවතින බව වාර්තා වෙයි.

විශේෂයෙන් මේ වන විට රට තුළ මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් අස්ථාවර භාවයකින් සිටින බවයි සඳහන් වන්නේ.

සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 226 කින් පමණ පහත වැටුණු නමුත් දිනයේ ගනුදෙනු අවසානයේදී පහත වැටුණු ප්‍රමාණය ඒකක 166.37ක් දක්වා යම් අඩුවීමක් දකින්නට ලැබුණි.

දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.25 කින් පහළ ගොස් ඒකක 7,235.25 ක්වූ අතර එස් ඇන්ඩ් පී මිල දර්ශකය සියයට 1.99 කින් පහළ ගොස් ඒකක 4,044.94 ක් වී තිබේ.

එය පසුගිය මාස 15 ක කාලය තුළදී සමස්ත මිල දර්ශකය දිනක් තුළ පහළ ගිය වැඩිම අවස්ථාව ලෙස අද සටහන් කරමිනි. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක් වෙද්දී කොටස් මිලියන 102 ක් ගනුදෙනු වී ඇත.

අද දිනයේදී ජෝන් කීල්ස්, කාර්සන්, ඩයලොග්, නෙස්ලේ ලංකා කොටස් මිල පහළ වැටුණි.

මේ අතර, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 100 ක් වටිනා ශුද්ධ කොටස් මිලදී ගැනීමක් කර තිබීමද කැපී පෙනේ.

විශ්ලේෂකයින් පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් දැඩි විමසිලිමත් ස්වභාවයක් ගැනීම නිසා කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල පහළ වැටීමක් සිදුව තිබෙන බවයි.

 

Rate this item
(0 votes)