April 29, 2024

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

February 09, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිල දත්ත වාර්තා සඳහන් කරන්නේ ජනවාරි මාසයේ දී මෙලෙස රන් සංචිතයෙන් කොටසක් විකුණා තිබෙන බවයි.

2022 ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 92 ක් බව එම වාර්තා පෙන්වා දෙනවා.

මෙම වටිනාකම 2021 දෙසැම්බර් 31 දින වන විට ඩොලර් මිලියන 175 ක් වශයෙන් සටහන්ව තිබුණා.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටස් විකුණා දැමූ අතර ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතුව ටොන් 3.1 ක රන් සංචිතයක් තිබුණු බවට ඇස්තමේන්තු කර තිබුණා.

ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු වී තිබෙනවා.

2021 නොවැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් වාර්තා වුණා.

පසුගිය මාස දෙකක කාලය තුළ දී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම 76% කින් අඩු වී තිබෙනවා.

පෙරේදා (07) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,810.53 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 11:24