May 14, 2024

ලංකාව හා චීනය අතර සයිබර් ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුමක්   

ශ්‍රි ලංකාව සහ චීනය අතර සයිබර් ආරක්‍ෂාව පිලිබදව අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ චීන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිතයින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේදී දෙරට වෙනුවෙන් මෙම ගිවිසුම‍ට අත්සන් තැබුහ.

මෙම ගිවිසුමට අනුව සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් දෙරටට අන්‍යෝන්‍ය විශ්වාසයකින් හා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසෙන බවත් තවද සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් නව දැනුම මෙන්ම අත්දැකීම් දෙරට අතර  හුවමාරු කර ගැනීම එල්ල විය හැකි හදිසි සයිබර් ප්‍රහාරයන් පිලිබදව දැනුවත් වීම සයිබර් ආරක්‍ෂාව පිලිබද විශේෂඥ දැනුම සහිත පිරිස් දෙරට අතර හුවමාරු කර ගැනීම මෙම ගිවිසුම මගින් හැකිවන බව එම නියෝජිතායතනය සඳහන් කරයි.

චීන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හුවාං චෙන් කිං ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  අධ්‍යක්‍ෂ නිති උපදේශක ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති අර්ල් ප්‍රනාන්දු, සංසදයේ විධායක නිලධාරී ලාල් ඩයස්, සංසදයේ  ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වුහ.  

 

Rate this item
(0 votes)