May 02, 2024

වෙනස දැන් සැපද?

February 13, 2020

ගෙවී ගිය දින කිහිපය සිද්ධීන්ගෙන් බහුල විය. මීට වසර කිහිපයකට පෙර අඩු වියදමින් පිනට ජීවත්විය හැකි ක්‍රමයක් පිළිබඳව ස්වාධීන රූපවාහිනියෙන් රටට පාඩමක් කියාදුන් ජවිපෙ සුනිල් හදුන්නෙත්තිගේ රසවත් කතාව යළිත් සමාජ ගතවී තිබේ. විකට හා පච රසය අතර සිටි ජනතාවගේ අවධානය එක්වරම යොමු වූයේ මීගමුව පැත්තේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කොට පිට්ටනියක් සෑදීමට බූරුවන්ට ප්‍රසිද්ධ පුත්තලම පැත්තේ කකුල් දෙකේ බූරු පැටියකු මැදිහත්වීමේ සිද්ධියකට ය.

එම සිද්ධිය මේ වන විට ජන සමාජයේ ඉතා ප්‍රසිද්ධියක් ලබා තිබේ. එම තත්ත්වය කොතරම් ප්‍රබල වීද යත් එම සිද්ධියට තනියෙන් නිර්භීතව මුහුණ දුන් ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිළධාරිනී දේවිනි ජයතිලක එක රැයකින් විනය ගරුක, නීති ගරුක, සාධාරණ සමාජයක් බලාපොරොත්තු වන අති බහුතරයක් වූ ලාංකීය ජනතාවගේ වීරවරියක් බවට පත්විය.

සනත් නිශාන්ත පෙරේරා මේ රටේ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමතිවරයා . ඔහු මීගමුව ප්‍රදේශයේ කඩොලන පරිසර පද්ධතියක් විනාශ කොට පිට්ටනියක් සෑදීමට ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී සිය ගෝල බාලයින්ගේ ඔල්වරසන් මැද කළ යෝජනාවට ගම්පහ පාරිසරික තත්ත්වය පිළිබඳව විග්‍රහයක් සමඟ පිළිතුරු දුන්නේ ජයතිලක නිලධාරිනියයි. එම පිළිතුර ඇය අවසන් කළේ නීතියට පිටින් මම මුකුත් කරන්නේ නැත කියාය.

මෙම සිද්ධියට අදාල වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග ඊට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ප්‍රතිචාර දැක්වූයේ ජයතිලක නිලධාරිනියට සිය ප්‍රසාදය හා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා ඔහුගේ ගෝලබාලයන්ට විරෝධය එල්ල කරමිණි. මෙම සිද්ධිය වූ අවස්ථාවේ ඇත්තෙන්ම සනත් නිශාන්තගේ හැසිරීමේ වැරැද්දක් දැකීමට තිබුණේ නැත. ඔහු තමන්ගේ පැත්තෙන් ඉල්ලීමක් කළ අතර ඔහුගේ ටිකිරි මෝඩ මොළයට තේරෙන ආකාරයට එම ඉල්ලීම සාධාරණය කිරීමට කරුණු කීවේය. ඒ අතරට පැමිණි ඔහුගේ ගෝලයකු ඔක්සිජන් නැතිව තමාට ජීවත් විය හැකි බව සනාථ කිරීමට යෑමෙන් වැඩේ දෙල් කර ගත්තේය.

සිද්ධිය සිදුවී ඉතා සුළු වේලාවක් තුළ ජයතිලක නිලධාරිනියට ලැබෙන මහජන ප්‍රසාදය ඉවසාගත නොහැකි වූ සනත් නිශාන්ත කට ඇරියේය. කට ඇර කිව්වේ හිතාගන්නවත් බැරි දේවල්ය. තමන් එතන නොසිටින්නට ජයතිලක නිලධාරිනියට ධීවරයන්ගෙන් ගුටි කෑමට සිදුවන බවය . ඒ අරුම පුදුම කතාවකි. ඒ කියන්නේ එතනට එන හැම නිලධාරියෙක් ම දේශපාලනඥයන්ගේ හැමදේටම ඔව් කිය යුතුය, නැත්තං ගුටිකා යුතුය කියන එකය. ඔය ගැහිල්ල සනත් නිශාන්තට හොදට හුරුය. ආරච්චිකට්ටුවේ නොම්බර එකේ මැරයා සනත් නිශාන්තය. රිමාන්ඩ් බන්ධනාගාරයේ කාලයක් විවේකයෙන් ගත කලේ ඔය මැරකම් නිසාය. ඒ ඇරුණුකොට සනත් නිශාන්ත ගමේ බඩු ඒ කියන්නේ කසිප්පු වලට විශාල කැමැත්තක් දක්වන බව පුත්තලම දිස්ත්රික්කයේ පොහොට්ටු පැත්තේ කට්ටිය මෙන්ම අලි පැත්තේ කට්ටියද කියන කතාවකි. සනත් නිශාන්ත ඉගෙන ගෙන ඇත්තේ පහට පමණක් කියා කියන කට්ටියද ඒ අතර සිටි.

ජයතිලක නිලධාරිනියට ධීවරයන් ගහන කතාව කීමෙන් පසු කඩොලාන විනාශ කර පිට්ටනියක් සෑඳීමේ කතාවද සනත් නිශාන්ත කීවේය. ජයතිලක නිලධාරිනියගේ අත්සන නැති නිසා එය නවත්තන්නේ නැති බවත් ලක්ෂ 7000 මෙම ව්‍යාපෘතිය කරන බවටද පම්පෝරි ගැසුවේය. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන්නේ ඔහුම නියෝජනය කරන රජයේ විෂය භාර ඇමතිවරයා වන එස්.එම්.චන්ද්‍රසේන ය. ඔහු කිව්වෙ වන ආඥා පනත ඉතා ප්‍රබල බවත් ඒ ගැන අවබෝධයක් නොමැතිව සනත් නිශාන්ත මෙවැනි කතා කියන බවය. එම පනත යටතේ පාලනය වන එකතු බිම් අඟලක්වත් පාර්ලිමේන්තුවේ අනුමැතීයකින් තොරව ලබා ගැනීමට නොහැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් සනත් නිශාන්ත ගේ දැන ගැනීම පිණිස කීවේය. චන්ද්‍රසේන ඇමති නොකියා කියන්නේ සනත් නිශාන්ත මෝඩයකු බවය.

මෙම සිද්ධිය සම්බන්යෙන් සනත් නිශාන්ත ඇතුළු ඔහුගේ ගෝලබාලයන් කියන්නේ කඩොලාන විනාශ කර පිට්ටනියක් අවශ්‍ය වන්නේ ළමයින්ට සෙල්ලම් කිරීමට කියාය. ඒ කියන්නේ ළමයින්ට සෙල්ලම් කරන්නට ලක්ෂ 7000 පිට්ටනියක් ඕන බවය. ඔය ලක්ෂ 7000න් සියයට විස්සක් විසිපහක් එනම් ලක්ෂ 1,400 වඩා ප්‍රමාණයකින් සනත් නිශාන්ත මොනවා කරන්න හිතාගෙන ඉන්නවා දැයි දන්නේ ඔහු පමණි.බලාගෙන යනකොට මේ කට්ටිය ගෙවුණ මාස තුනට හිටපු කට්ටියටත් වඩා දුර ගිහින්ය.

දැන් පොදු ජනයාට තිබෙන ප්‍රශ්නය සනත් නිශාන්ත එරෙහිව ගන්නා පියවර කුමක්ද කියන එකය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත දැක්වූ අදහස් වැරදි බව විෂය භාර ඇමතිවරයා පවසා තිබේ. ඒ කියන්නේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමති කමක් දැරුවද කිසිම අවබෝධයක් නැති පුස්සකු බවය. එය පුදුම විය යුත්තක් ද නොවේ . සනත් නිශාන්ත පාර්ලිමේන්තුවට ආවේ ප්‍රාදේශීය සභාවේ සිටය. ඔහු හිතන්නේ ධිවර අමාත්‍යාංශයත් ප්‍රාදේශීය සභාව වගේ කරගෙන යෑමට හැකි බවය. ඊළඟට ඔහු තමන් දැක්වූ වැරදි අදහස ක්‍රියාවට නංවන බවත් ලක්ෂ 7000 වියදම් කරන බවත් කියා සිටී. එසේනම් මීගමුව කඩොලාන බේරා ගැනීම සඳහා කළ යුතුව තිබෙන්නේ සනත් නිශාන්තව රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමය. එහෙත් එසේ නොකොට ඔහුව තාමත් එම ධුරයේ තබා ගන්නේ කවුරුන්ද? ඔහුව රකින්නේ කවුරුන්ද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු පත්කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාය. අප දන්නා ආකාරයට ජනාධිපතිවරයා මෙවන් බූරුවන් විහිළුවටවත් ඇති කරතැයි සිතීම අසීරුය. අගමැති මහින්ද රාජපක්ෂ ඒ අතින් මේ වැඩේට දක්ෂය. සෑම දිස්ත්‍රික්කයකම මහින්ද රාජපක්ෂ මෙවන් කිහිපදෙනෙකු අවශ්‍ය වේලාවට ප්‍රයෝජනයට ගැනීමට තබාගෙන සිටියි. ඊට උදාහරණ ද ඕනෑ තරම් තිබේ. කළුතර රත්තරං, ගම්පහ මිරිස් කුඩු චක්‍රවර්ති ඉන් කිහිපයකි.

තවදුරටත් රාජ්‍ය ඇමති ධූරයෙ සනත් නිශාන්ත තබා ගන්නවා කියන්නේ රට යළිත් 2015ට පෙර තිබූ තැනට යනවා කියන එකය. මේ සිද්ධියේ පුදුම සහගත කරුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට බයක් සැකක් නැතුව වැඩ කරන්න යැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා ද තවමත් නිහඬව සිටීමය.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 February 2020 11:24