April 26, 2024

සැබෑ ගින්දර සැඟවූ ගින්නෙන් උපන් සීතල

"ගින්නෙන් උපන් සීතල" හරි අපූරු චිත්‍රපටයක්. විජේවීර 1971 ඉඳල ජවිපෙ ගොඩනැගූ ආකාරය එහි අවස්ථානුකූලව ගොඩනගා තියෙනව මම එහෙම කිව්වෙ චිත්‍රපටයකදි සියලුම සිද්ධීන් ගෙනහැර දක්වන්න අවස්ථාවක් නැති හින්ද.

කලාකරුවෙක් තම්න්ගෙ නිර්මාණය හරහා කියන්නෙ තමාගෙ මත්වාදය හෝ දෘෂ්ටිය. ඒකෙ වැරැද්දක් කියන්න බැහැ. අනෙක් ඕනෑම පුද්ගලයකුට මෙන්ම කලාකරුවකුටත් ඒ සඳහා අයිතියක් තියෙනව. ගින්නෙන් උපන් සීතල නිර්මාපකය මෙහිදී විජේවීර ඉස්මතු කොට දක්වමින් ඔහුට පක්ෂපාත ආකාරයකට තමයි චිත්‍රපටය හදල තියෙන්නෙ. විජේවීරට සාධාරණයක් ඉටු කිරීම තමයි ඔහුගේ නිර්මාණ අභිලාශය වෙලා තියෙන්නෙ.

යම් පුද්ගලයෙක් තම ජීවිත කාලය තුළ කුමණ දේවල් කළත් කීවත් ඔහු ගැන අවසාන විග්‍රහය ලියැවෙන්නෙ ඔහු තම ජීවිතයෙ අවසාන කාලයෙදි කළ කී දේ අනුවයි. ඒ අනුව විජේවීර මියගියේ මේ රට භීතියෙන් සසල කළ, කිසිදු විරුද්ධ මතයක් නොඉවසූ, විශේෂයෙන්ම අනෙකුත් වාමාංශිකයන් කෙරෙහි බද්ධ වෛරයකින් පෙළුනු පුද්ගලයකු හැටියට. ඒ කාරණය හෝ ඔහුගේ නායකත්වයෙන් දියත් කෙරුනු ඒ දැවැන්ත "දේශප්‍රේමී" සංහාරය මේ චිත්‍රපටය තුළින් විශද වෙන්නේ නැහැ.

මහා පරිමාණයේ දේශපාලන දැනුමක් තිබු පුද්ගලයකු වුවත් මගේ අදහසේ හැටියට ඔහු ඉතාම මනෝමූල චරිත ස්වභාවයකින් යුත් පුද්ගලයෙක්. 71 කැරැල්ල සම්බන්ධයෙන් ඔහු සමග සිටි සමීපතමයන් ලියා කියා ඇති දේවලින් ඒ බව පැහැදිලි වෙනවා. එයට අමතරව කැරැල්ලෙන් පසුව සිරගතව සිටිමින් පවා ඔහු මුලින් තමාගේ සහෝදරයන්ව සිට පසුව ඔහුගේ මතයට වෙනස් අදහස් දැරූවන්ට පහර දුන් හැටි අප අසා තියෙනව.

ජේ. ආර්.ගේ පිහිටෙන් 77 අගදී නිදහස් වෙලා ඇවිත් විජේවීර පටන් ගත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි සංග්‍රාමයක්. ජේ. ආරුත් ඒ සඳහා ජවිපෙට full support එක දුන්නා. මේ චිත්‍රපටයේ ඒ පිළිබඳ ඉඟියක්වත් නැහැ. ඒ වෙනුවට පෙන්වන්නෙ විජේවීර දැඩි unp විරෝධියකු හැටියටයි. 77 ඉඳල 82 වෙනකල්ම විජේවීරගෙ එකම දේශපාලන ව්‍යාපෘතිය වුනේ එවකට පැවති අනෙකුත් වමේ පක්ෂ අතුගා දැමීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටකරගෙන දෙවැනි බලවේගය වශයෙන් ඉස්මතු වීමයි. ඒ සම්බන්ධයෙන් මේ නිර්මාණය නිහඬයි.

වමට සහ වැඩකරන ජනතාවට අදාලව මේ කාලය තුළ ඇතිවූ ලොකුම දේශපාලන සංසිද්ධිය තමයි 80 මහා වැඩවර්ජනය. ජවිපෙ මේ වර්ජනයට විරුද්ධ වුනා විතරක් නෙවෙයි වර්ජනය කඩාකප්පල් කරන්නත් වැඩ කළා. විජේවීරගෙ මස්සිනා සහ බිරිඳගෙ සොහොයුරා වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්.ප්‍රනාන්දු සහෝදරයා මේ නිසාම ජවිපෙ සමග තිබූ දේශපාලන සම්බන්ධය පවා අතහැරියා. මේ වැදගත් දේශපාලන සංසිද්ධිය සහ කාරණය ගින්නෙන් උපන් සීතල තුළ දැවී ගිහිල්ල.

ජවිපෙ සහ විජේවීරගෙ හැබෑ දේශපාලන ගමන්මග පෙන්නුම් කරන අනෙක් ප්‍රධානතම කාරණය තමයි නන්දන මාරසිංහ මරාදැමීම. අනුරාධපුරයේ බස් නැවතුම්පොළ අසල සපත්තු සෙරෙප්පු විකුණමින් තමයි ඔහු ජීවිකාව සපයාගත්තෙ. ජවිපෙ සහ මේ රටේ පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තම ජීවිතය නොතකා වැඩ කළ එවන් අහිංසක සහෝදරයකු මරන්න අණ කරන්න පුළුවන් මොන වගේ කෲර, අමානුෂික මිනිහෙකුටද? කෲරත්වය කියන්නෙ මේකයි කියල ප්‍රභාකරන්ට පවා ඉගැන්නුවෙ විජේවීර කියල කිව්වත් වරදක් නැහැ.

ගින්නෙන් උපන් සීතල ගිනිගෙන තියෙන ආකාරය ගැන තව දාහක් දේ කියන්න පුළුවන්. ඒත් තව එකම එක කාරණයක් විතරයි මම සටහන් කරන්නෙ. චිත්‍රපටය අවසන් වෙන්නෙ ජවිපෙ තාමත් පට්ට ගහන චේගෙ ප්‍රකට කියමනින්. "දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් සිට මියයාම වඩා හොඳයි"
හැබැයි විජේවීර මියගියේ කොහොමද? රන්ජන් විජේරත්නගෙ නියෝගයෙන් ඔහු මරා දමන්න පෙර විජේවීර රූපවාහිනි තිරයට ඇවිල්ල ප්‍රකාශයක් කළා. ඇත්තටම කළා නෙවෙයි ඔහු ලවා ප්‍රකාශයක් කෙරෙව්ව. 
මට මතක හැටියට විනාඩි දෙකතුනක එම ප්‍රකාශයෙදි ඔහු තම සගයන්ට කිව්වෙ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්න එපා කියල. අන්න ඒ ප්‍රකාශය විජේවීරගෙ හඬින්ම චිත්‍රපටය අවසානයට දැම්ම නම් සමස්ත නිර්මාණයෙම තියෙන මම ඉහත කිව්ව අඩුපාඩු එහෙම්ම තිබුණා වුනත් මේ චිත්‍රපටය නරඹන ජනතාවට සාධාරණයක් වෙනව.

ඒත් නිර්මාණකරුවා සාධාරණය කරල තියෙන්නෙ විජේවීරට මිසක් ඔහුගේ දේශපාලනයෙන් කුමණ හෝ විදියකින් බලපෑමට ලක්වූ පොදු ජනයාට නෙවෙයි.

 නීතිඥ ශ්‍රීනාත් පෙරේරා | Srinath Perera - Attorney at Law

Rate this item
(1 Vote)