April 29, 2024

"මගේ විෂයන් අඩු කරලා - ඒ නිසා වැඩ බාරගන්නේ නෑ" ඇමති කියයි Featured

පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ   අමාත්‍යවරයා දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ භාර නොගැනීම හේතුවෙන් දීවයින පුරා ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන වල සේවා සියල්ල අඩපණ වී නිලධාරීන් සහ වෙළෙන්දන් අතර අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කරති.

ආර්ථික මධ්‍යස්ථාන පාලනය වන කළමනාකරණ භාර රැස්වීම් මාසිකව පැවැත්විය යුතු වුවද මේ වන විට මාස ගණනාවකින් ඒවාද නොපැවැත්වීම නිසා කළමනාකරණ භාර සේවකයන් සහ වෙළෙන්දන් අතර මේ දිනවල දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළෙඳ සංගමයේ සභාපති යු . බී .ඒකනායක මහතා පැවසීය.

 මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය සහ වෙළෙන්දන් අතර ඇතිවන ගැටුම් කාරී තත්වය නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වූ අතර 03 දින පෙරවරුවේ අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ කළමණාකරන භාරයේ කළමනාකරු අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් අප ආර්ථික මධ්‍යස්ථාන භාරව ඇමතිවරයා කවුරුන්ද යන්න වෙළෙන්දන්ගෙන් සහ එහි රැඳී සිටි ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේදී බොහෝ දෙනෙකු කියා සිටියේ ඇමතිවරයා  කවුරුන්ද  නොදන්නා බවත් ඇතැම් අය කියා සිටියේ පි .හැරිසන් ඇමැතිවරයා බවය. එක් අයකු පමණක් කියා සිටියේ  රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇමති  බවය.

කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පි හැරිසන් ඇමැතිවරයා සතුව පවතී    ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය    ඉවත් කොට    රංජිත් මද්දුම බණ්ඩාර මහතා ට ලබාදී  දිවුරුම් දුන්නේය.

එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කර සිටියේ මේ වන තුරුත් ඇමතිවරයා දිවුරුම් දුන්නට වැඩ බාර නොගැනීම හේතුවෙන් රටේම ආර්ථික මධ්‍යස්ථාන වල අර්බුද මතුවී තිබෙන බවත් තවත් දින කීපයක් මේ පිළිබඳව පියවරක් නොගන්නේ නම් වහාම සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වී රටේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවය.

එමෙන්ම අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන භාරව 2015 වසරේ සිට ඇමතිවරුන් පස් දෙනෙකු මරු වී තිබෙන බවය. මෙය ද බරපතළ හානියක් බව ඔවුහු පෙන්වා දෙති .

ආර්ථික මධ්‍යස්ථාන වල පරිපාලන කටයුතු ක්‍රියාත්මක වනු ලබන්නේ කළමනාකරණ  භාරයකින්  බවත්  එහි  සේවකයන්   සාමාජිකයින් පවා දේශපාලන අවශ්‍යතා මත වෙනස් කිරීම හේතුවෙන් ටෙන්ඩර් පත් පමණක් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වන බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති  යු .බී. ඒකනායක මහතා චෝදනා කළේය.

මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් විමසීමක් කළෙමු.

 ඒ මහතා කියා සිටියේ තමන් ආර්ථික  සංවර්ධන කටයුතු අමාත්‍යංශය වරයා ලෙස දිවුරුම් දුන්නද වැඩ බාර ගත් නොගත් බවය. ඉදිරියේදිත් තමා වැඩ භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවද    ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විෂයපථ රැසක් ආයතන රැසක් පැවතුනද තමා වෙත ආර්ථික මධ්‍යස්ථාන පමණක් ලබාදීම නිසා එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.

 විජිතමුණි සොයිසා මහතාටත් වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාට එම අමාත්‍යාංශයේ පැවැති   පශු  සම්පත් සංවර්ධන අංශය සහ විවිධ අංශ රැසක් එම අමාත්‍යංශය යටතේ පැවැත්වුණු නමුදු තමන්ට පමණක් ආර්ථික මධ්‍යස්ථාන විෂය පමණක් ලබාදීම නිසා තමන් එම අමාත්‍ය ධූරයේ වැඩ භාර නොගන්නා බවට තීරණය කළ බවද හෙතෙම කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Last modified on Wednesday, 03 July 2019 15:50